බාහිර පුද්ගලයින්ට ආයෙත් පුහුණුව ලංවිම තුළ ලබාදෙන්නේ නැහැ – නිහාල් වීරරත්න

ලංකා විදුලි බලමණ්ඩලය තුළ මින් ඉදිරියට කිසිදු බාහිර පුද්ගලයෙකු සඳහා පුහුණු වීම් ලබා නො‍දීමට ඒකමතිකව තීරණය කළ බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න පවසනවා.

ඔහු සඳහන් කර සිටියේ පසුගිය සමයේ දී රජය විසින් වරාය අධිකාරියට, විදුලිබල මණ්ඩලයට මිල්ටරීකරණය හඳුන්වා දීමට උත්සහා කළ බවත්, ඒ සඳහා ඇතැම් බාහිර පුද්ගලයින් ආයතනයන්වලට පැමිණ සිය වැඩකටයුතු සම්බන්ධයෙන් පුහුණු වීමක් ලැබීමටද උත්සාහ කළ බවයි.

නමුත් මින් ඉදිරියට එවන් කිසිවෙකුටත් පුහුණු වීම් ලබා නොදීමට තීරණය කළ බවයි සභාපතිවරයා වැඩිදුරටටත් පවසා සිටියේ.

IMF පළමු වාරිකයෙන් ඉන්දීය ණයෙන් කොටසක් ගෙවයි

ඉන්දීය රජයෙන් මෙරටට ලැබුණු ණය මුදල් සඳහා පළමු වාරිකය නැවත ගෙවීම ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 121 ක් ගෙවූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබුණු විස්තීර්ණ ණය පහසුකමෙහි පළමු වාරිකයෙන් එම ඉන්දීය ණය වාරිකය ගෙවූ බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

සාලිය පිරීස් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධූරයෙන් සමුගනියි

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ලෙස කටයුතු කළ ජනාධිපති නීතීඥ සාලිය පිරීස් අද (24) නිල කාලය අවසන්වීමෙන් අනතුරුව එම ධූරයෙන් ඉවත්වී තිබෙනවා.

ඒ අනුව සිය Facebook ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ වෘත්තියේ ගෞරවනීය සාරධර්මවලට අනුකූලව එහි යහපත උදෙසා ක්‍රියාකිරීමට සෑමවිටම ඉමහත් පරිශ්‍රමයක් දැරූ බවයි.

රටේ ජනතාවගේ විශ්වාසය පුබුදුවාලමින් නීතියේ ආධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය, අධිකරණයේ ස්වාධීනත්වය සහ ජනතාවගේ සහ ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කැප වූ ශක්තිමත් හා ජවසම්පන්න ආයතනයක් ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය කටයුතු කරනු ඇති බව තමාගේ ප්‍රාර්ථනය බවයි ජනාධිපති නීතීඥ සාලිය පිරීස් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ, නව සභාපති ධුරය සඳහා කෞෂල්‍ය නවරත්න පසුගියදා තේරී පත්ව තිබුණා.

c54c1ada5ecc8aa8070a316a152c2426

මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි – මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණු ආර්ථික අර්බුදය හමුවේද මෙරට බැංකු පද්ධති ස්ථාවරව පවත්වා ගැනීමට හැකියාව ලැබුණු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ අනුව ඉදිරියේදීද බැංකු පද්ධතියේ එවැනි ස්ථාවරත්වයක් පවත්වාගත හැකි බවයි කොළඹ පැවති උත්සවයක් අමතමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

බැංකු පද්ධති මුහුණදෙන අභියෝග සම්බන්ධයෙන් ලොව පුරා අසන්නට ලැබෙන බවත් මෙරට වාණිජ බැංකු වුවද ඕනෑම අභියෝගයකට මුහුණදිය හැකි ආකාරයෙන් සූදානම් විය යුතු බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

පාරිභෝගික අධිකාරිය උත්සව සමයේ වැටලීම් අරඹයි

එළඹෙන උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිවයින පුරා වැටලීම් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සෑම දිස්ත්‍රික්කයම ප්‍රධාන තොග අලෙවිසැල් හා ගබඩා පරීක්ෂා කිරීම මෙන්ම සිල්ලර වෙළඳසැල් පරීක්ෂා කිරීමද සිදුකරන බවයි එම අධිකාරිය සඳහන් කළේ.

එසේම උත්සව සමයේදී වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුලු අක්‍රමිකතා සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට 1977 කෙටි දුරකථන අංකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10 ක ජල කප්පාදුවක්

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (25) උදෑසන 11.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 10ක කාලයක් ජල කප්පාදුවක් සිදුකරන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්තිටුවීමට නියමිතයි.

එසේම මහරගම, බොරලැස්ගමුව හා කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලටත්, කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටත්, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලටත් සැපයුම අත්හිටුවන බවයි බවයි ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.

ගංජා සමඟ අත්අඩංගුවට ගත් OIC සහ කොස්තාපල් රිමාන්ඩ්

ගංජා අලෙවි කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පලෙයි පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයෙක් බවයි සඳහන් වන්නේ.

ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2ක් සොයා ගැනීමට සමත්ව ඇති අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 28 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා.

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද රැස්වෙයි

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද (24) විශේෂ සාකච්ඡාවක් සඳහා රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම එකමුතුව නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ, ගැටලුව විසඳීම සඳහා වෘත්තීය සමිති දුන් අවස්ථාව රජය අවභාවිතා කරමින් ඇති බවයි.

ජනාධිපතිවරයා සමඟ සෘජු සාකච්ඡාවක් ලබාදෙන බවට සඳහන් කළද මෙතෙක් එම සාකච්ඡාව ලැබී නොමැති බවයි වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් 1 සහ 2 ජනපතිගේ ප්‍රධානත්වයෙන්

56 වන ජාතික අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් මස 1 සහ 2 යන දිනයන්හි දි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අප්‍රේල් 1 වන දා උදෑසන සතර වාහල්කඩ කිරි ඉතිරීමෙන් උත්සවය ආරම්භ වන අතර පළමුවනදා දවස පුරා ශ්‍රි මහා බෝධීන් වහන්සේ අභියස ශබ්ද පූජාව පැවැත්වීමට ද නියමිත බවයි සඳහන් වන්නේ.

අප්‍රේල් මස 2 වන දා උදෑසන කිරි ආහාර පූජාවෙන් පසුව උදෑසන 8.30 ට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහා පාත්‍රයට සහල් පිරවීම සිදු කිරීමට නියමිතයි.

2022 තෙවන පාසල් වාරය අදින් අවසන්

2022 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ) තෙවන වාරය අද (24) දිනයෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව 2023 වර්ෂයේ පළමු පාසල් වාරය 2023 මාර්තු 27 සඳුදා දින ආරම්භවීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.