උත්සව සමයේ වැටලීම් වැඩි කිරීමට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් තීරණය කරයි

අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ වෙළඳපොල වැටලීම් මේ වන විට ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් එස්.අයි. බෝපිටියගේ පැවසුවේ ආහාර සුරක්ෂිතතාවය සඳහා විශේෂ වැඩසටහන් රැසක් මේ වනවිට ක්‍රියාත්මක කරන බව හා 3000 කට ආසන්න පිරිසක් මේ සඳහා යොදවා ඇති බවයි.

පරිභෝජනයට නුසුදුසු ආහාර වෙළඳපලේ පවතී නම්, ඒ පිළිබඳ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තෙල් සංස්ථාව පෞද්ගලීකරණයට එරෙහිව අද වෘත්තීය ක්‍රියාමාර්ගයක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණයට එරෙහිව අද (27) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටි බවත් මේ වනතෙක් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජගත් විජේගුණරත්න සඳහන් කරන්නේ.

ඒ අනුව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අද උදෑසන කොලොන්නාව ඛනිජ තෙල් නිමාව ඉදිරිපිට වෘත්තීය සමිති නායකයන්ගේ සහභාගීත්වයෙන් උපවාස ක්‍රියාමාර්ගයක් මේ වන විට ආරම්භ කර ඇති බවයි අදාළ වෘත්තීය සමිති සඳහන් කළේ.

බදු ප්‍රතිපත්තියට එරෙහි විරෝධය මේ සතියේ තීව්‍ර කරනවා – වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මේ සතියේ තීව්‍ර කිරීමට කටයුතු කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

ඒ අනුව එම එකමුතුව නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් ජයසිංහ සඳහන් කළේ, ජනාධිපතිවරයා සමඟ ලබාදීමට පොරොන්දු වූ සාකච්ඡාව ලබාදීමකින් තොරව ආණ්ඩුව එය මඟ හරිමින් සිටින බවයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම සතිය ආරම්භයේ වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව රැස්වී සාකච්ඡා කර ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

2023 පළමු වාරය අද ආරම්භ වෙයි

2023 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ පළමු අදියර අද (27) ආරම්භ වනවා.

ඒ අනුව 2023 වසරේ පළමු වාරයේ පළමු අදියර අද සිට අප්‍රේල් මස 04 වනදා දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

රාජ්‍ය සේවකයින්ගේ අතිකාල දීමනා ගැන විශේෂ චක්‍රලේඛයක් නිකුත් කළා – වජිර

රාජ්‍ය සේවකයින්ට අතිකාල සහ අනෙකුත් දීමනා ගෙවීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

ඒ අනුව ඊට අදාළ චක්‍රලේඛය මුදල් අමාත්‍යංශය මගින් ඊයේ (26) නිකුත් කළ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එළවළු තොග මිල සීග්‍රයෙන් පහළට

දිවයින පුරා එළවළු තොග වෙළඳ මධ්‍යස්ථානවල තොග මිල ගණන් සීග්‍රයෙන් පහත ගොස් ඇති බව එම වෙළඳුන් පවසනවා.

එළවළු තොග ලැබීම ඉහළ යාම හා අඩු මිලට ගොවීන්ගෙන් එළවළු තොග ලැබීම නිසා මෙලෙස මිල ගණන් පහත ගොස් ඇති බවයි වෙළඳුන් පෙන්වාදෙන්නේ.

ඒ අනුව මීට පෙර රුපියල් 400 කට අලෙවි කෙරුණු බෝංචි කිලෝ ග්‍රෑමයක් මේ වන විට තොග මිල රුපියල් 100 ක් දක්වා පහත වැටී ඇති අතර රුපියල් 700 කට පමණ අලෙවි වූ මාළු මිරිස් කිලෝ ග්‍රෑමයක තොග මිල මේ වන විට රුපියල් 250 ක් දක්වා පහත වැටී ඇති බවයි වෙළඳුන් සඳහන් කරන්නේ.

එසේම කැරට් කිලෝ ග්‍රෑමයක තොග මිල රුපියල් 80 දක්වාත් ගෝවා කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 50 ක් දක්වාද අඩුවී තිබෙනවා.

නීතිඥ සංගමයේ නව සභාපති වැඩ භාර ගනියි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 27 වන සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා අද (25) සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා.

2023 – 2024 වසර සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ඔහු ඡන්ද විමසීමකින් තොරව පසුගියදා තේරී පත්වූ අතර එම තනතුර සඳහා ඔහු පමණක් නාමයෝජනා භාරදී තිබුණා.

ඒ අනුව ඔහු සිය ධූරයේ වැඩ ආරම්භ කරමින් සඳහන් කළේ, පක්ෂ දේශපාලනයෙන් බැහැරව ස්වාධීනව නීතිඥ සංගමයේ ඉදිරි කටයුතු කරගෙන යාමට පියවර ගන්නා බවයි.

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 10ක ජල කප්පාදුවක්

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (25) උදෑසන 11.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 10ක කාලයක් ජල කප්පාදුවක් සිදුකරන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්තිටුවීමට නියමිතයි.

එසේම මහරගම, බොරලැස්ගමුව හා කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලටත්, කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටත්, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලටත් සැපයුම අත්හිටුවන බවයි බවයි ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.

තවදුරටත් චීනයෙන් ණය ලබාගැනීම සිදුනොකළ යුතුයි – ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

පවතින ආර්ථික අර්බුදයෙන් මීදිමට නම් තවදුරටත් චීනයෙන් ණය ලබාගැනීම සිදුනොකළ යුතු බව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසනවා.

හිටපු මහ බැංකු අධිපතිවරයා පවසන්නේ චීනයෙන් මෙවර අවශ්‍ය වන්නේ ණය නොවන බවත් ඔවුන් සතුව සුලබව පවතින ප්‍රාග්ධනය ශ්‍රී ලංකාව තුළ යෙදවීම බවයි.

එලෙස ප්‍රාග්ධනය යෙදවීම චීන ණය මගින් මෙහි ගොඩනගන ලද යටිතල පහසුකම් හරහා සිදුකළ හැකි බව පෙන්වා දෙන හිටපු අධිපතිවරයා පවසා සිටියේ හම්බන්තොට වරාය, කොළඹ වරාය නගරය වැනි චීනය මෙහි ගොඩනැගූ යටිතල පහසුකම්වල වාසිය ලබමින් මෙහි ආයෝජන සිදුකරන්නේ නම් එයද ඉදිරි ආර්ථික වර්ධන මූලාශ්‍රයක් වනු ඇති බවයි.

අපිට සිද්ධවෙනවා එළඹෙන සතියේදී ලක්ෂ ගණනක් වන වෘත්තිකයින් සමග පාරට එන්න – GMOA

උපයනවිට බද්දට අදාළව තාවකාලික විසඳුමක් ලබාගැනීමට ජනාධිපතිවරයා මේ සතිය තුළ සාකච්ඡාවක් ලබා නොදෙන්නේ නම් එළැඹෙන සතිය තුළදී යළිත් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

එහිදී අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසා සිටියේ සාකච්ඡාව ලබා නොදෙන්නේ නම් එළඹෙන සතියේදී ලක්ෂ ගණනක් වන වෘත්තිකයින් සමග පාරට පැමිණීමට සිදුවනු ඇති බවයි.

එම තත්ත්වය තුළ රටම අඩපණ විය හැකි බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියා.