Channel 4: තවුහීද් ජමාත් සාමාජිකයෙක් සහ සුරේෂ් සලේ අතර හමුව සංවිධානය කළේ මම – අසාද් මවුලානා

පාස්කු ප්‍රහාරය පිළිබඳ විශේෂ හෙළිදරව්වක් සහිත වාර්තා වැඩසටහනක් බ්‍රිතාන්‍යයේ Channel 4 නාළිකාව ඊයේ (05) රාත්‍රීයේ විකාශය කර තිබෙනවා.

එම වැඩසටහනට එක් වෙමින් පළමු වරට හෙළිදරව්වක් සිදුකරන අසාද් මවුලානා නැමැත්තෙකු පවසන්නේ, පාස්කු ප්‍රහාරයට පෙර තවුහීද් ජමාත් අන්තවාදී සංවිධානයේ සාමාජිකයෙක් සහ හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ අතර හමුවක් සංවිධානය කළේ තමන් විසින් බවයි.

පිල්ලෙයාන් හෙවත් රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ සහයකයෙකු සහ භාෂා පරිවර්තකයෙකු ලෙස කටයුතු කර ඇති අසාද් මවුලානා නැමැත්තා, පිල්ලෙයාන් විසින් සිදුකළ ඉල්ලීමක් අනුව එම හමුව සංවිධානය කළ බවද, එම හමුවට පෙර සයීනි මවුලවි නැමැත්තා හමුවන ලෙස තමාට උපදෙස් ලැබුණු බවද ඔහු හෙළදරව් කරනවා.

සයීනි මවුලවි නැමැත්තා පාස්කු ප්‍රහාරයේ මූලිකයා වූ සහරාන්ගේ සොහොයුරා බව පසුව දැනගත් බවද Channel 4 වැඩසටහනේදී ඔහු පවසනවා.

අදාළ හමුවෙන් අනතුරුව තමා වෙත පැමිණි හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ විසින්, රාජපක්ෂවරුන්ට රට තුළ අනාරක්ෂිත තත්ත්වයක් ඇති කිරිමට අවශ්‍ය වී ඇති බවත්, ගෝඨාභය රාජපක්ෂට බලයට පැමිණිය හැකි එකම මඟ එය බවත්, තමන් සමඟ ප්‍රකාශ කළ බවද ඔහු සඳහන් කරනවා.

මෙම චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ පිල්ලෙයාන් ප්‍රතිචාර නොදැක්වූ බවද, හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මෙයට ප්‍රතිචාර දක්වමින් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කළ බවද Channel 4 වාර්තා වැඩසටහන සඳහන් කරනවා.

OnmaxDT අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුගේ කෝටි 62ක දේපළ තහනම් කෙරේ

නීති විරෝධී පිරමීඩ යෝජනා ක්‍රමයක් පවත්වාගෙන ගිය OnmaxDT සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන සම්පත් සඳරුවන්ට හිමි රුපියල් කෝටි 62 කට අධික වටිනාකමින් යුතු දේපළ අන්සතු කිරීම, විකිණීම, පැවරීම තහනම් කර තිබෙනවා.

මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් OnmaxDT සමාගම සම්බන්ධයෙන් මෝසමක් මගින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වෙත කරුණු දැක්වීමක් සිදුකර තිබුණා.

එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කරන ලද ගිණුම්වල රුපියල් කෝටි 79ක මුදලක් තිබෙන බවට බැංකු ගිණුම් වාර්තා අනුව තොරතුරු අනාවරණය වන්නේ යැයි විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.

ඒ අනුව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන සම්පත් සඳරුවන්ගේ බැංකු ගිණුම් 16ක කෝටි 55ක් ද, අතුල ඉන්දිකගේ බැංකු ගිණුමේ කෝටි 2ක් ද, ධනංජය ජයනාත්ගේ බැංකු ගිණුමේ කෝටි 11ක් ද, සාරංග ජයනාත්ගේ බැංකු ගිණුමේ කෝටි 18ක් ද, ගයාෂාන්ගේ බැංකු ගිණුමේ කෝටි 2ක් ද ඇති බවට බැංකු ගිණුම් අනුව තොරතුරු අනාවරණය වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

OnmaxDT පිරමීඩ යෝජනා ක්‍රමයට මහජනතාවගෙන් එක්රැස් කරගත් මුදල් ගලා යන අවසාන මුදල් ගිණුම ඕස්ට්‍රේලියානුවකුගේ නොව ශ්‍රී ලාංකික පුද්ගලයකුගේ බවට තොරතුරු අනාවරණය වී ඇති බවද වාර්තා වනවා.

විද්‍යුත් ​ත්‍රිරෝ​ද රථ ලියාපදිංචියට ප්‍රතිපාදන සැලසේ

විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමට පවතින බාධාවන් ඉවත් කරමින් මෝටර් වාහන පනත සංශෝධනය කිරීම සඳහා පසුගිය වසරේ අගෝස්තු 08 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබූ බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

එම අනුමැතිය පරිදි අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

64f6e8bb29766

ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමට අදාළ කාරක සභාවේ සාමාජිකත්වයෙන් මන්ත්‍රීවරුන් 3 ක් ඉල්ලා අස්වෙයි

මහාචාර්ය රංජිත් බණ්ඩාර, එස්.බී. දිසානායක සහ ධම්මික පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව මේ හේතුවෙන් ඇතිවූ පුරප්පාඩු සඳහා නිමල් ලාංසා, නාලක බණ්ඩාර කොට්ටේගොඩ සහ මංජුලා දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම කාරක සභාවේ සාමාජිකයන් ලෙස නම් කර ඇති බවයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.

ලංගම සහ දුම්රිය ප්‍රවේශපත්‍ර වෙනුවට ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීම කඩිනම් කෙ​රේ

ලංගම බස්රථ හා දුම්රිය ප්‍රවේශපත්‍ර වෙනුවට ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමේ කටයුතු කඩිනමින් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

රජයට අයත් මගී ප්‍රවාහන සේවාවන් පාඩු ලැබීමට අධික වියදම් හා සේවකයින් සිදුකරන විවිධ වංචා දූෂණ හේතුවී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව මේ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම සතිය තු​ළ කෝප් කමිටුවට ආයතන කිහිපයක් කැඳවයි

මෙම සතිය තුළ ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද වරාය අධිකාරියේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

හෙට (06) මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා

උසස් පෙළ දිවයිනේ ප්‍රථම ස්ථාන ලබා ගත් සිසුන්

2022 (2023) උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (04) නිකුත් වූ අතර දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන්ද මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව 2022 (2023) උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සමුදිත නයනප්‍රිය හිමිකරගෙන තිබෙනවා.

වාණිජ අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ දිල්සරණි තරුෂිකා සමත්ව ඇති අතර ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සුජාතා විද්‍යාලයේ ප්‍රමුදි භාෂණී මුණසිංහ සමත්ව ඇති බවයි සඳහන් වන්නේ.

භෞතික විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ ගෝනදූවගේ මනෙත් බනුල පෙරේරා විසින් දිනාගෙන තිබෙනවා.

උසස්පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා.
ඒ අනුව https://doenets.lk/examresults වෙබ් පිටුව ඔස්සේ විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය යොමු කිරීමෙන් ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ගැන අනතුරු ඇඟවීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරෙයි හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළෙන් ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩි විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද පැයට කිලෝමේටර් 50-60 දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

උසස් පෙළ කල්දමන ලෙස විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්

එළැඹෙන නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල්දමා දරුවන්ට සිදුවන අසාධාරණය වළක්වාලීමට කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටිනවා.

ඒ අනුව මෙම වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිසුන්ගේ අයිතිවාසිකම් සහ ප්‍රායෝගික තත්ත්වයන් නොසලකා හරිමින් විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවත් කෙසේ හෝ තම පරිපාලන කාලසටහන් සාර්ථක කරගැනීමේ මිලේච්ඡ අරමුණක අධ්‍යාපන බලධාරීන් කටයුතු කරමින් සිටින බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

2022 වසරේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කර නොමැති පසුබිමක මෙම වසරේ උසස් පෙළ විභාගය එළැඹෙන නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට සැලසුම් කිරීම හේතුවෙන් දරුවන්ට දැඩි ආසාධාරණයක් සිදුවන බවත් නොවැම්බර් මාසයට විභාග දින නියම කිරීම හේතුවෙන් දෙවන වර විභාගයට සුදානම් වීමට සිටින දරුවන්ට ඒ සඳහා ඉතිරිව ඇත්තේ මාස දෙකකටත් වඩා අඩු කාලසීමාවක් බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.

එසේම විෂයන් වෙනස් කර යළිත් විභාගයට පෙනී සිටින දරුවන්ට මෙය කිසිසේත්ම ප්‍රමාණවත් කාලසීමාවක් නොවන බවත් මෙම තත්ත්වය තුළ ඇතැම් සිසුන්ගේ සරසවි සිහිනය ද බොඳවනු ඇති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කරන්නේ.