මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට එරෙහි පෙත්සම කල් යයි

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මන්ත්‍රීවරුන් විසින් අධිකරණයට අපහාස කළේ යැයි මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට එරෙහිව ගොනු කළ පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 22 වනදා දක්වා කල් තබා තිබෙනවා.

අද (30) දිනයේ පෙත්සම සලකා බැලීමට කැඳවූ අවස්ථ‍ාවේ නීතිපතිවරයා විසින් අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් අදාළ නඩුවට අදාළව ලේඛන ගොනුකිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබුණා.

ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් පෙත්සම සලකා බැලීම මෙලෙස කල් තබා තිබෙනවා.

තෙල් සංස්ථාවේ අනිවාර්යය නිවාඩු යැවූ නම් ලැයිස්තුව නිකුත් කෙරේ

අනිවාර්ය නිවාඩු යැවු සහ ඛනිජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයන්ට පැමිණීම තහනම් කළ පුද්ගලයින්ගේ නාම ලේඛනය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ඉන්ධන බෙදාහැරීම් කටයුතුවලට බාධා වන ලෙස සහ ඉන්ධන බෙදාහැරීමේ රාජකාරි කටයුතුවල සේවයේ යෙදී සිටි සේවකයින්ට බලපෑම් කිරීම හේතුවෙන් මොවුන් මෙලෙස අනිවාර්ය නිවාඩු යැවූ බවයි සඳහන් වන්නේ.

ඔවුන්ට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයන් හා ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කර ඇති බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ නාම ලැයිස්තුව පහතින්.

319fa42440a1cb351621f11f1c7a920f

සංශෝධිත බස් ගාස්තු ප්‍රකාශයට පත් කෙරේ

හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය වූ නව බස් ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30 ක් දක්වා පහත දමා ඇති අතර අනෙකුත් බස් ගාස්තු 12.9%කින් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

සංශෝධිත බස් ගාස්තු පහතින්,

47863978f797a7c17fd3f27d0cddb472 715d45a08611e85d630fc22e668a99f8

සුවසැරිය ගිලන් රථ සේවාව නඩත්තුවට පෞද්ගලික අංශයේ සහයෝගය පතයි

1990 සුවසැරිය ගිලන්රථ නඩත්තුවට පෞද්ගලික අංශයේ සහ පුද්ගලයින්ගේ සහාය ලබාගැනීමට වැඩසටහනක් දියත්කර තිබෙනවා.

ඒ අනුව පවතින ආර්ථික අර්බුදය හමුවේ මහා භාණ්ඩාගාරයට මෙම සේවාව වෙනුවෙන් ප්‍රමාණවත් අරමුදල් ලබාදීම අපහසු වී ඇති බැවින්, මෙම සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම ගැටළුවක් වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එක් ගිලන් රථයක වසරක නඩත්තු පිරිවැය රුපියල් මිලියන 05 ක් වන අතර 1990 සුවසැරිය සේවාව ආරක්ෂා කර ගැනීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමණාකාරීත්වය විසින් ගිලන් රථ නඩත්තුවට පෞද්ගලික අංශයේ සහ පුද්ගලයින්ගේ සහාය ලබාගැනීමට වැඩසටහනක් දියත්කර ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් Twitter පණිවිඩයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සඳහන් කරන්නේ, මෙම සත්කාරය සඳහා යොදවන සම්පූර්ණ මුදල සමාගම්වල බද්දට යටත් වන ආදායම ගණනය කිරීමේදී අඩුකර ගත හැකි අතර මේ වනවිටත් මේ සඳහා පුද්ගලික අංශයේ ආයතන රැසක් ඉදිරිපත්වී ඇති බවත් මාර්තු 31 වනදා බදු වර්ෂය අවසන් වීමට පෙර හැකි අයට කාරුණිකව දායක වන ලෙසයි.

ඩීසල් බවුසර් 68 ක් හා පෙට්‍රල් බවුසර් 122 ක් පිටත් කර තිබෙනවා – කංචන

ඛනිජ තෙල් වෘත්තීය සමිති ආරම්භ කළ උපවාසය හා වර්ජනය අසාර්ථකවී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව සේවකයන්ගෙන් 95% ක් මේ මේ සඳහා සහයෝගය ලබාදී නොමැති බවයි අද (29) මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ප්‍රාදේශීය කාර්යාල හා පර්යන්ත මඟින් අද උදෑසන 6.00 සිට 9.00 දක්වා ඩීසල් ලීටර 6600 බවුසර් 68 ක් හා පෙට්‍රල් 92 ලීටර් 6600 බවුසර් 122 ක් මේ වන නිකුත් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

වැඩ වර්ජනයේ ඉදිරි කටයුතු තීරණය කිරීමට ඛනිජ තෙල් වෘත්තීය සමිති අද රැස්වෙයි

වැඩ වර්ජනය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා අද (29) සාකච්ඡාවක් පැවැත්වෙන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිදහස් සේවක සංගමයේ සභාපති ජගත් විජේගුණරත්න සඳහන් කළේ, විෂයභාර අමාත්‍යවරයා හෝ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තම ගැටලු සඳහා විසඳුම් ලබාදෙනු ඇති බවට බලාපොරොත්තු වන බවයි.

ඛනිජ තෙල් ආනයනය කිරීම ඇතුළු ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව පැවති ඒකාධිකාරී බලය විදේශ සමාගම්වලට ලබාදීමට විරෝධය පළකරමින් ඔවුන් ඊයේ (28) සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කළා.

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද සාකච්ඡාවකට රැස්වෙයි

ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග තීරණය කිරීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද (29) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එහි සම කැඳවුම්කරු මහාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ සඳහන් කළේ, දැනට පවතින බදු සංශෝධනයට මාස 6 ක කාලයක් බලා සිටීමට නොහැකි බැවින් කඩිනමින් අන්තර්කාලීන විසඳුමක් අපේක්ෂා කරන බවයි.

ඒ සම්බන්ධයෙන් ලිඛිතව ජනාධිපතිවරයාව දැනුවත් කළ බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව වැඩිදුරටත් සඳහන් කළා.

ඉන්ධන බෙදා හැරීමට බාධා කළ වෘත්තීය සමිති නායකයින් හා සේවකයින් අනිවාර්ය නිවාඩු යැවේ

ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලට බාධා කළ වෘත්තීය සමිති නායකයින් හා එයට සහාය දුන් සේවකයන් අනිවාර්ය නිවාඩු යැවීමට කළමණාකාරීත්වය තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව ඔවුන්ට මේ මොහොතේ සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය හා තෙල් තොග ගබඩා පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කලාප බවයි එම සංස්ථාව සඳහන් කරන්නේ.

අනෙක් සියලුම නිලධාරීන් සේවයට වාර්තා කර ඉන්ධන බෙදාහැරීමේ කටයුතු හා අනෙකුත් සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස දැනුම්දෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ.

3c0b80048734f4b86683983474dc4bbf

ආනයනය කළ බිත්තර අද සිට බෙදාහැරීමට පියවර

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර අද (29) සිට බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

ආනයනය කරන ලද බිත්තර බේකරි නිෂ්පාදකයින් අතරේ පමණක් බෙදා හැරීමට නියමිත අතර එම බිත්තර බේකරි නිෂ්පාදකයින් සඳහා රුපියල් 35ක මුදලකට අලෙවි කිරීමට නියමිතයි.

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද පළමු බිත්තර තොගය ලෙස බිත්තර මිලියන 2 ක් මේ වන විට ආනයනය කර තිබෙනවා.

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල් බෙදාදීමේ වැඩසටහන ආරම්භ කෙරේ

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල් බෙදාදීමේ වැඩසටහන ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් අද (27) කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව දෙමටගොඩ, මිහිඳුසෙන්පුර ප්‍රජා ශාලාවේදී ප්‍රතිලාභීන් 995 දෙනෙකු වෙනුවෙන් ද, නාරාහේන්පිට දාබරේ මාවත ප්‍රජා ශාලාවේ දී ප්‍රතිලාභීන් 448 දෙනෙකු වෙනුවෙන් ද, වැල්ලවත්ත රන්ජන් විජේරත්නපුර ප්‍රජා ශාලවේ දී ප්‍රතිලාභීන් 169 දෙනෙකු වෙනුවෙන් ද සහල් මලු බෙදාදීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

2022/ 2023 මහ කන්නයේ රජයේ වී මිලදී ගැනීම් සහ වී තොග බැහැර කිරීමේ වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් වෙත නොමිලේ මෙම සහල් බෙදා දීමේ වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ක්‍රියාවට නංවා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.