මගේ පාලන කාලය තුළ රටේ නීතිය හා සාමය කඩන්න කාටවත්ම ඉඩ දෙන්නේ නැහැ – ජනපති

තම ජනාධිපති ධුර කාලය තුළ රටේ නීතිය හා සාමය කඩ කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවන් විසින් පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීම වැළැක්වීම සහ රට අරාජික වීම වළක්වා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව ආරක්ෂක අංශ වෙත සිය කෘතඥතාව පළකරන බවයි ආරක්ෂක අංශ සාමාජිකයින් අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

ත්‍රස්තවාදී යුද්ධය ජය ගත්තා සේම ශ්‍රී ලංකාවේ ආර්ථික යුද්ධය ජයගෙන ආර්ථික ස්වාධීනත්වයක් ඇති කිරීමට කඩිනමින් පියවර ගන්නා බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඉතාලිය ChatGPT තහනම් කරයි

ඉතාලිය විසින් ලෝකයේ වඩාත් ජනප්‍රියත්වයට පත්ව ඇති කෘතිම බුද්ධි (AI) සේවාවක් වන ChatGPT තහනම් කිරීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ ආරම්භ කරන ලද OpenAI ආයතනය විසින් නිර්මාණය කළ සහ Microsoft ආයතනයෙන් සහය ලබන මෙම කෘතිම බුද්ධි (AI) සේවාව සම්බන්ධයෙන්, පෞද්ගලිකත්වය පිළිබඳව ගැටලු ඇති බව ඉතාලි දත්ත ආරක්ෂණ අධිකාරිය පවසා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අදාළ ගැටලුව පිළිබඳව වහාම ක්‍රියාත්මක වන පරිදි පරික්ෂණයක් ආරම්භ කිරීම සඳහා ඉතාලිය තුළ ChatGPT සේවාව භාවිතය තහනම් කිරීමට කටයුතු කළ බව ඉතාලි දත්ත ආරක්ෂණ අධිකාරිය විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

උෂ්ණත්වය හොඳටම වැඩියි, දරුවන් වතුර බීම වැඩි කළ යුතුයි – විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස

මෙම දිනවල පවතින තදබලම ගැටලුවක් ලෙස උෂ්ණත්වය ඉහළ යාම පෙන්වා දිය හැකි බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණවේදී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පවසනවා.

මේ හේතුවෙන් දවසකට පානය කරන ජල ප්‍රමාණය ඉතාමත් වැදගත් බවත්, විශේෂයෙන්ම වයසට අවුරුදු 05ට අඩු දරුවෙකු දිනකට අවම වශයෙන් වතුරු වීදුරු 02ක් හෝ දිනකට පානය කළ යුතු බවත්, දරුවන්ගේ වයස අනුව බොන වතුර ප්‍රමාණය වැඩි කළ යුතු බවත් ඇය පවසා සිටියා.

පාසල් යන දරුවෙකු අවම වශයෙන් වතුර වීදුරු 4 සිට 6 දක්වාද, වැඩිහිටියෙකු අවම වශයෙන් වතුරු වීදුරු 10ක ප්‍රමාණයක්වත් පානය කළ යුතු බවත් පාසල් යන දරුවන් වතුර බීමට හුරු විය බවත් ඇය වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

පෙබරවාරි මාසයේ දී 23,974ක් විදේශ රැකියා සඳහා මෙරටින් පිටත්ව ගිහින් – මහ බැංකුව

2023 වසරේ පෙබරවාරි මාසයේ දී විදේශ රැකියා සඳහා පුද්ගලයින් 23,974ක් පිටත්ව ගොස් ඇති බවත්, එම පිරිස් අතර නුපුහුණ සේවකයින් 7,662ක්, ගෘහ සේවිකාවන් 6,939ක් සහ පුහුණු සේවකයින් 6,582ක් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පවසනවා.

එමෙන්ම 2022 වසරේ පෙබරවාරි මාසයේ දී ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 205ක් වන විදේශ ප්‍රේෂණයන් ප්‍රමාණයට වඩා 2023 වසරේ පෙබරවාරි මාසයේ දී ලැබුණු විදේශ ප්‍රේෂණයන් ප්‍රමාණය 407ක් ලෙස වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙම වසරේ අඛණ්ඩව දෙවන මාසයේ දීද විදේශ ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 400 සීමාව ඉක්මවා ඇති බවයි මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ.

පෙබරවාරි මාසයේ දී ඇඟලුම් අපනයනයන් සැලැකිය යුතු මට්ටමකින් පහළට – මහ බැංකුව

ඇඟලුම් අපනයන ආදායම් සැලැකිය යුතු ලෙස පහළ යාමත් සමඟ 2023 පෙබරවාරි මාසයේ දී කාර්මික භාණ්ඩ අපනයන ආදායම, 2022 වසරේ පෙබරවාරි මාසයට වඩා පහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.

ගෝලීය වශයෙන් පැවැති අහිතකර ආර්ථික තත්ත්වයන් හේතුවෙන් ඇඟලුම් අපනයනය කරන ප්‍රධාන වෙළෙඳපොළවල ඉල්ලුම පහත වැටීම ඊට ප්‍රධාන හේතුවක්ව ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

82776565c9967c2d7785470b57098be3

ප්‍රවීන රංගන ශිල්පී අමරසිරි කලංසූරිය අභවප්‍රාප්ත වෙයි

සිංහල සිනමාවේ තවත් පුරෝගාමියෙකු වූ ප්‍රවීන රංගන ශිල්පී අමරසිරි කලංසූරිය අද (01) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හන්තානේ කතාව චිත්‍රපටය තුළින් සිංහල සිනමාවට පිවිසෙන ඔහු සම්මාන රැසකින් ද පිදුම් ලැබූ කලාකරුවෙකු ද වනවා.

ඔහු මිය යන විට 82 වන වියේ පසුවුණා.

වෘත්තීය සමිති එකමුතුවේ විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (31) පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වෙන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

සිය ගැටලු සඳහා රජයෙන් මේ වන තෙක් සාධනීය විසඳුමක් ලැබී නොමැති බවයි එම වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.

රාජ්‍ය පරිපාලන නව ලේකම්වරයෙක් පත් කෙරේ

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ නව ලේකම් ධුරයට කේ. ඩී. එන්. රංජිත් අසෝක පත්කර තිබෙනවා.

ඒ අනුව 21 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

21b962ba3b2e9b7c2c65b3b56eb20aca

ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා – ඛනිජ තෙල් සංස්ථාව

දිවයිනේ සියලු ඉන්ධනහල් වෙත සිදුකරන ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ඉල්ලීම් කිහිපයක් මත ඛනිජ තෙල් වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ඉන්ධන සැපයුම් ක්‍රියාවලියේ යම් ප්‍රමාදයන් සිදුව තිබුනා.

මේ වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා සේවකයින් බහුතරයක් වර්ජන ක්‍රියාමාර්ග නවතා සාමාන්‍ය පරිදි රාජකාරියේ නිරතව සිටින බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරනවා.

බේරුවල ආසන්න මුහුදේ භූ කම්පනයක් වාර්තා වෙයි

බේරුවලට ආසන්න මුහුදේ රික්ටර් මාපක 3.7ක භූ චලනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නිවේදනය කරනවා.

අද දහවල් 1.02 ට පමණ බේරුවල වෙරළ තීරයේ සිට කිලෝ මීටර් 37ක දුරින් සාගර කලාපයේ මෙම භූ කම්පනය සිදුව ඇති බවත් මෙමඟින් සුනාමි අවදානමක් නොමැති බවත් කාර්යාංශය වැඩිදුරටත් පවසනවා.