වර්ජනයේ නිරත පිරිස් වෙත දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

වහාම සේවයට වාර්තා කරන ලෙසත් එසේ නොකරන්නේ නම්, ඔවුන් සේවය හැර ගියා සේ සලකන බවත් වර්ජනයේ නිරත දුම්රිය ලොකෝමෝටිව් ඉංජිනේරුවරුන් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ලොකෝමෝටිව් ඉංජිනේරුවන් 84 දෙනෙක් මේ වන විට වර්ජනයේ නිරත වී සිටින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් මේ වන විට ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

අද සවස ධාවනය වන දුම්රිය පිළිබඳව දැනුම්දීමක්

අද දින සවස කාර්යාල දුම්රිය හා රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළුව , ගමන් වාර 37ක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 18 ක් ද, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 12 ක් ද , පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමන් වාර 04 ක් හා කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 3 ක් ද එයට ඇතුළත් බවයි සඳහන් වන්නේ.

ධාවනය වන දුම්රිය පහතින්.

ඡායාරූප – RDMNS

650199c89a8d4 650199c88d84e 650199c87c370 650199c8a3c95

දිනපතා ස්වයංක්‍රීයව ඉන්ධන මිල සංශෝධනය වීමේ ක්‍රමවේදයක් ලබන වසරේ සිට

ලබන වසරේ සිට දිනපතා ස්වයංක්‍රීයව ඉන්ධන මිල සංශෝධනය වීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

සිය Twitter ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ, මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවිකරුවන්ගේ සංගමය දැනුවත් කළ බවයි.

පිරවුම්හල්වල ඉන්ධන සැපයීම සහ තොග ලබා ගැනීම, නව උපාංග භාවිතයෙන් ස්වයංක්‍රීයකරණය කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

අදාළ Twitter පණිවිඩය පහතින්.

6501a21a0b1f4

මට වද දුන්නට, Channel 4 බැලුවම වෙලා තියෙන්නේ වෙනස් දෙයක් කියලා දැන් රටටම පේනවා – මෛත්‍රීපාල

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වසර 4ක් පුරා තමන්ට චෝදනා කළද, Channel 4 දෙස බැලූ විට සිදු වී ඇත්තේ ඊට වඩා වෙනස් දෙයක් බව බොහෝ පැහැදිලිව රටටම පෙනෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරයාට ලිපියක් භාරදීමට කටයුතු කරන බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය යෝජනා කර ඇති පරිදි මේ සම්බන්දයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද, ඒ වෙනුවන් තමන් හඬ නගන බවද ඔහු අවධාරණය කරනවා.

දුම්රියෙන් ඇද වැටී මියගිය තරුණයා වෙනුවෙන් රුපියල් ලක්ෂ 05​ක කරුණා සහගත ගෙවීමක් ගෙවනවා – බන්දුල

ඊයේ (12) දුම්රියෙන් ඇද වැටී මියගිය තරුණයා වෙනුවෙන් ඔහුගේ පවුල වෙත රුපියල් ලක්ෂ 5ක කරුණා සහගත ගෙවීමක් ප්‍රදානය කිරීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

දුම්රිය වරදකින් වුවද මනුශ්‍ය ජීවිතයකට වන්දි ගෙවීමට හැකියාව තිබෙන්නේ රුපියල් 75,000 ක් පමණක් වුවද, තමන් ජනාධිපති ලේකම්වරයා සහ අමාත්‍යංශ ලේකම්වරයා දැනුවත් කර අදාළ තරුණයා වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් ප්‍රදානය කරන ලෙස නියම කළ බවයි ඔහු පවසන්නේ.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙම මුදල කරුණා සහගත ගෙවීමක් ලෙස එම තරුණයාගේ පවුලට ලබාදෙන බවද, එය තරුණයාගේ ජීවිතයේ වටිනාකම තක්සේරු කර සිදුකරන ගෙවීමක් නොවන බවද ඔහු වැඩිදුරටත් පවසනවා.

IMF ණය මුදලේ දෙවැනි සමාලෝචනයට නිලධාරීන් පිරිසක් අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් පිරිසක් අද (13) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඔවුන් ණය වැඩසටහනේ දෙවැනි සමාලෝචනය හෙට (14) සිට ආරම්භ කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ඔවුන් විස්තීරණ ණය වැඩසටහනේ මෙතෙක් ලබා ඇති ප්‍රගතිය මෙහිදී ඇගයීමට ලක් කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව ජනපති කළ යෝජනාව කතෝලික සභාව ප්‍රතික්ෂේප කරයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව නව පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් හා කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව කතෝලික සභාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා මීට පෙරද විමර්ශන කොමිෂන් සභා දෙකක් සහ පාර්ලිමේන්තු තේරිම් කමිටුවක් පත් කළද, ඒවායේ වාර්තා සහ නිර්දේශ ගණනාවක් ඉදිරිපත් වුවද, ඒ කිසිවකින් බලාපොරොත්තු වුනු ප්‍රතිඵල නොලැබුනු බවයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පෙන්වා දෙන්නේ.

එසේ පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත්කරන ලද්දේත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාව සිටි යහපාලන රජය පවතින සමයේ බවද එතුමා පෙන්වා දෙනවා.

එබැවින් මේ සඳහා පාර්ලිමේන්තුව විසින් පත් කරන තවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් හෝ ජනාධිපතිවරයා විසින් පත්කරන විශ්‍රාමික විනිසුරුවරයෙක්ගෙන් යුතු කමිටුවකින් හෝ මෙම විමර්ශන අපක්ෂපාතීව සහ අවංකව සිදුවෙතැයි අපේක්ෂා කළ නොහැකි බවද එතුමන් අවධාරණය කරනවා.

එලෙස තේරීම් කාරක සභාවක් සහ කමිටුවක් පත් කිරීම, ජනතා මුදල් සහ කාලය නාස්ති කරන, ජනතාව මුලා කිරීමක් බවද, එම විහිළු සහගත උත්සාහය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවද පියතුමා සඳහන් කරනවා.

Channel 4 හෙළිකළ පාස්කු ඉරිදා ප්‍රහාරය පසුපස තිබුනායැයි කියන කුමන්ත්‍රණය සහ ඒ හා සම්බන්ධයැයි හෙළිදරව් කර ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතු ස්වාධීන විමර්ශනයක්, ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක අධීක්ෂණය හා නීරීක්ෂණය යටතේ සිදුවිය යුතු බවයි සිරිල් ගාමිණී පියතුමා වැඩිදුරටත් සඳහන් කළේ.

රනිල්ව ආරක්ෂා කරන්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්ගේ අදෘශ්‍යමාන හස්තයන් විසින් – නලීන්

රනිල්ව ආරක්ෂා කරන්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්ගේ අදෘශ්‍යමාන හස්තයන් විසින් – නලීන්

ක්ෂණික දඩ මුදල් ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වාදීමට පියවර ගන්නවා – පොලීසිය

විනයගරුක රියදුරන් පිරිසක් ඇති කිරීමේ අරමුණින් ක්ෂණික දඩ මුදල් ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වාදීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා.
එසේම කුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදයද ක්‍රියාත්මක කරන බවත් බස් රථ යොදා ගනිමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බස් රථ රියදුරන්ද හඳුනා ගැනීමේ නියමු ව්‍යාපෘතියක් හරහා මේ වන විට පුද්ගලයින් 94 ක් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය සඳහන් කළා.
මේ අතර 2023 වසරේ ජනවාරි පළමු වනදා සිට අගෝස්තු මාසය දක්වා මාරක රිය අනතුරු 1427 ක් සිදුව ඇති බව පොලීසිය පවසනවා.
ඒ අනුව එම අනතුරුවලින් 1513 ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනතුරුවලින් මියගිය පිරිසෙන් තුනෙන් එකක පමණ ප්‍රමාණයක් යතුරුපැදි අනතුරු හේතුවෙන් මියගොස් ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සඳහන් කළේ.
එසේම වසරකට මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් 12,000 ක් පමණ මරණයට පත්වන බවත් දිනකට 7 ක් හෝ 8 මිය යන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

දිවයින පුරා රෝහල් ඉදිරිපිට වෛද්‍යවරුන් අද නිහඬ විරෝධතාවක

අද දිනයේ දිවයින පුරා රෝහල් ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව වෛද්‍යවරුන් සේවය අතහැරයාම ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් හැකි ඉක්මනින් විසඳුම් ලබාදෙන ලෙස බල කරමින් මෙම නිහඬ විරෝධතාව පැවැත්වෙන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.