අද කොළඹට රැස්වන විරෝධතාකරුවන්ට ස්ථාන කිහිපයකට ඇතුළුවීම තහනම් කෙරේ

අද (04) දහවල් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවැත්වීමට නියමිත විරෝධතාවයට සහභාගි වන්නන්ට ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ මුදල් අමාත්‍යාංශයට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර තිබෙනවා.

විරෝධතාවයට සහභාගි වන්නන්ට පෙළපාලියකින් ගොස් එම ස්ථානයන්ට ඇතුළුවීම, රාජ්‍ය දේපළවලට හානි කිරීම සහ රජයේ නිලධාරින්ගේ රාජකාරිවලට බාධා කිරීම තහනම් කිරීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ නියෝගය මේ සිදුවීම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින වසන්ත සමරසිංහ, බන්දුල සමන් කුමාර, රවී කුමුදේශ් සහ උදේනි දිසානායක යන අය ඉදිරියේ කියවා භාරදෙන ලෙසද, නීතිවිරෝධි අන්දමින් කටයුතු කරන්නේ නම් නීති අනුව කටයුතු කරන ලෙසයි මහෙස්ත්‍රාත්වරයා පොලීසියට වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

මහ බැංකු පනත ව්‍යවස්ථානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙයි

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පතේ කිසිඳු වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පනත් කෙටුම්පත සංශෝධනවලට යටත්ව සරල බහුතරයකින් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කළ හැකි බවයි ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් දැනුම්දී තිබෙනවා.

මහ බැංකු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කථානායකවරයා මේ බව සඳහන් කළා.

ඡන්දයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින්ට මූලික වැටුප ගෙවීමට කැබිනට් අනුමැතිය

පළාත් පාලන මැතිවරණය සඳහා පෙනී සිටින රාජ්‍ය සේවකයින් සඳහා මූලික වැටුප පමණක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මාර්තු මස 9 වන දා සිට අප්‍රේල් මස 25 වනදා දක්වා වු මූලික වැටුප ගෙවීමට ඊයේ (03) දිනයේ රැස්වු අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කළ බවයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කළේ.

ඒ අනුව එළඹෙන අප්‍රේල් මස 10 වනදාට පෙර සියලුදෙනාටම මූලික වැටුප හිමිවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අන්තරේ විරෝධතාවට ජල ප්‍රහාරයක්

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹ, ලිප්ටන් වටරවුම ප්‍රදේශයේ සංවිධානය කර තිබූ විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

කැලණිය, රුහුණ, විවෘත විශ්වවිද්‍යාලය, බෞද්ධ හා පාලි සරසවි වල මර්දනය වහා නවත්වන ලෙස ඉල්ලා මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.

කොන්දේසි පහකට යටත්ව පෞද්ගලිකරණයට එකඟයි -ගම්මන්පිල

කොන්දේසි පහකට යටත්ව පෞද්ගලීකරණයකට එකඟවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසනවා.

දේශපාලන බලපෑම හේතුවෙන් රාජ්‍ය ව්‍යවසාය මිලදී ගැනීමට කටයුතු කරන්නේ, පාක්ෂිකයා මිස දක්ෂයා නොවන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

අදාළ කොන්දේසි පහතින්,

1. පෞද්ගලිකරණය අතිශයින්ම විනිවිදභාවයකින් සිදුවිය යුතුයි. පෞද්ගලිකරණය අධීක්ෂණය කිරීමට පාර්ලිමේන්තුවේ සර්වපාක්ෂික කමිටුවක් පිහිටුවිය යුතුයි.

2. පෞද්ගලිකරණයේ ප්‍රතිඵලයක් ලෙස ජනතාව සූරාකන වෙළඳපොලක් බිහිවීම වැළැක්වීමට සැබෑ නියාමනයක් තිබිය යුතුයි.

3. මව්බිමේ සතුරන් අතට මෙම ආයතන පත් වී ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් පෞද්ගලිකරණය සිදු නොවිය යුතුයි.

4. පෞද්ගලික අංශයේ කේවල් කිරීම් වැලැක්වීමට සහ හදිසි අවස්ථාවන්ට මුහුණ දීමට අවශ්‍ය කරන ආයතන පෞද්ගලිකරණය නොකල යුතු නමුත් නව ව්‍යවසායකයින්ට අවස්ථාව ලබා දී උපරිම තරගකාරි වෙළඳපොලකට අවස්ථාව සැලසිය යුතුයි.

5. උපාය මාර්ගිකව වැදගත් ආයතන රාජ්‍යය සතුව තබා ගත යුතුයි.

ජාතික පාසැල්ව​ල අතරමැදි ශ්‍රේණිවලට ළමුන් ඇතුළත් කිරීම ගැන දැනුම්දීමක්

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජාතික පාසල්වල 2 සිට 4 හා 7 සිට 10 යන අතරමැදි ශ්‍රේණිවල පන්ති සඳහා ළමුන් ඇතුළත් කිරීමේ දී අදාළ චක්‍රලේඛන අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් අප්‍රේල් මස 21 දිනෙන් පසු ව ජාතික පාසල් වෙත දැනුම් දෙන බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.

එතෙක් ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලිපි නිකුත් කරනු නොලබන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මිලියන 67ක අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට

රුපියල් මිලියන 67කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් තලෛයිමන්නාරම් මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී පාවෙමින් තිබූ උරයක් පරීක්‍ෂාවට ලක් කර ඇති අතර එහි පාර්සල් හතරක අසුරා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 කට අධික තොගයක් සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

රට තුළට ප්‍රවාහනය කිරීමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් එම අයිස් මත්ද්‍රව්‍ය තොගය මුහුදේ අත්හැර දමා යන්නට ඇති බවට නාවික හමුදාව සැක පළකර ඇති අතර අයිස් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් සිය භාරයේ පවතින බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.

වෘත්තියවේදීන්ගේ විශේෂ සාකච්ඡාවක් අද

වෘත්තියවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ විශේෂ සාකච්ඡාවක් අද (03) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

නව බදු සංශෝධනය, ත්‍රස්ත පනත ඇතුළු ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා ඇති බවයි සඳහන් වන්නේ.

අද පස්වරු 3.00 ට මෙම සාකච්ඡාව පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

ජාතික අලුත් සහල් මංගල්‍ය ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි

ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පැවැත් වුණා.

සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ මෙම අලුත් සහල් මංගල්‍ය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් 56 වන වරට සංවිධානය කර තිබුණා.

රජ සමයේ සිට පැවැත එන මෙම චාරිත්‍රය සදහා රට පුරා ගොවීන් රැසක් එක්ව සිටි අතර කලට වැසි වසිත්වා – කෙත්වතු සාරවත් වේවායි ප්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථීකයක් ඇති වේවායි රටට, ජාතියට සෙත් පැතීමත් මෙහිදී සිදුකර තිබෙනවා.

සමෘද්ධි, රාජ්‍ය සේවක සහ විශ්‍රාම වැටුප් 10 වැනිදාට පෙර ගෙවනවා – රංජිත් සියඹලාපිටිය

ආණ්ඩුවේ මුදල් ප්‍රවාහවලට විශාල බරක් වුවද රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප 10 වනදාට පෙර ගෙවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

එසේම මෙම වසරේ අවසන් කාර්තුව වන විට රාජ්‍ය සේවකයන් සඳහා විශේෂ දීමනාවක් ලබාදිමටද රජය කටයුතු කරන බවයි උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් හා සමෘද්ධි දීමනා මෙම මස 10 වනදාට පෙර ගෙවීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.