Fitch Ratings ශ්‍රේණිගතකිරීම් වලින් ශ්‍රී ලංකාව පහත හෙළයි

Fitch Ratings ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය මෙරට දේශීය මුදල් ණය පිළිබඳ වර්ගීකරණය C මට්ටමේ සිට RD හෙවත් සීමිත පැහැරහැරීමේ මට්ටම දක්වා පහත හෙළා තිබෙනවා.

දේශීය බැඳුම්කර හුවමාරුවට අදාළ බැඳුම්කර වර්ගීකරණය D මට්ටමට පහත හෙළා ඇති අතර, එලෙස හුවමාරුවට ලක්නොවූ බැඳුම්කර C මට්ටමේ වර්ගීකරණය කර ඇති බවයි එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පාස්කු ප්‍රහාරයට අදාළ මෝසම් සලකාබැලීමට දින නියම කෙරේ

පාස්කු ප්‍රහාරයට අදාළව, මේ වනවිට තීන්දු ලබාදී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව ගොනුකර තිබෙන මෝසම් පත්‍ර සලකාබැලීම සඳහා නොවැම්බර් මස 02 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) දින නියම කර තිබෙනවා.

අදාළ මෝසම් අද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසක් විසින් මෙම මෝසම් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කබ්රාල් අද ආර්ථිකය බංකො​ලොත්වීම පිළිබඳ හේතු සොයන විශේෂ කාරක සභාව හමුවට

ආර්ථික බංකොලොත්භාවය සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අද (15) කැඳවා තිබෙනවා.

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධනද අද දිනයේ කාරක සභාව හමුවට කැඳවා ඇති බවයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සඳහන් කළේ.

ආර්ථිකය බංකොලොත්වීමට හේතුවූ කාරණා සම්බන්ධයෙන් ඔවුන්ගෙන් සාක්ෂි ලබාගැනීමට සැලසුම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

නව දුෂණ විරෝධී පනත අද සිට බලාත්මකයි

නව දුෂණ විරෝධී පනත සහ අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ පනතේ විධි විධාන අද (15) සිට බලාත්මක වනවා.

ඒ අනුව ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් පසුගිය 09 වනදා නිකුත් කර තිබුණා.

දුෂණ විරෝධී පනත් කෙටුම්පත පසුගිය ජුලි මස 19 වනදා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

පනත් කෙටුම්පත් දෙකකට කතානායක අත්සන් තබයි

ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පතට සහ බැංකු විශේෂ විධි විධාන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන අත්සන් තබා තිබෙනවා.

ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් පසුගිය ජුලි 20 වනදා සම්මත වූ අතර බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව ජුලි 21 වනදා සම්මත වුණා.

ඒ අනුව 2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහබැංකු පනත සහ 2023 අංක 17 දරණ බැංකු විශේෂ විධිවිධාන පනත ලෙස බලාත්මක බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

නවක වදය පිළිබඳව තොරතුරු දැනුම්දීමට WhatsApp අංකයක්

දිවයින පුරා පිහිටි විශ්වවිද්‍යාලවල නවක වදය සම්බන්ධව තොරතුරු දැනුම්දීම සඳහා විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

076 54 53 454 යන දුරකතන අංකයට WhatsApp පණිවුඩයක්, වීඩියෝ දර්ශන හෝ ඡායාරූප යොමු කළ හැකි අතර 1997 යන කෙටි දුරකතන අංකයටත් මේ සම්බන්ධව දැනුම් දීමේ හැකියාව පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පැය 24 පුරා මෙම දුරකතන අංකය ක්‍රියාත්මක බවයි.

2023 උසස් පෙළ කාලසටහන නිකුත් කෙරේ

2023 උසස් පෙළ විභාගයේ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙවර විභාගය 2023 නොවැම්බර් 27 වැනිදා සිට දෙසැම්බර් 21 වනදා දක්වා පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

අදාළ කාලසටහන පහතින්.

6502d9de7eb37 6502d9de71396

වසර 3ක් ඇතුළත අස්වැසුම නතර කරනවා – අනුප පැස්කුවෙල්

වසර 3 ක් තුළ අස්වැසුම ලබාදීම නවත්වන බව වැඩබලන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය අනුප පැස්කුවෙල් පවසනවා.

ඒ අනුව එම පුද්ගලයින් ශක්තිමත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත සැලැස්මක් සකස් කළ බවත් ඔවුන් විවිධ වෘත්තීන් සඳහා යෙදවීමට කටයුතු කරන බවයි වැඩබලන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගෙන් සහ සමෘද්ධි කළමනාකරුවන්ගෙන් අදහස් ලබා ගැනීම ද මේ වනවිට ක්‍රියාත්මක බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

IMF පළමු සමාලෝචනය අද ආරම්භ වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය අද (14) පෙරවරුවේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඔවුන් අද සිට සැප්තැම්බර් 24 වැනිදා දක්වා පාර්ශ්ව රැසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ඔවුන් විස්තීරණ ණය වැඩසටහනේ මෙතෙක් ලබා ඇති ප්‍රගතිය මෙහිදී ඇගයීමට ලක් කිරීමට නියමිත අතර ඉන් අනතුරුව දෙවැනි වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතයි.

විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් කැඳවීම අද සිට ඇරඹේ

විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් කැඳවීම අද (14) සිට සිදුකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව https://www.ugc.ac.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ එම අයදුම්පත් ඔක්තෝබර් 5 වනදා දක්වා යොමුකිරීම සිදුකළ හැකි බවයි එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ.

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය 04 වන දින නිකුත් කෙරුණු අතර 166,938 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.