හෙට සුරාසැල් විවෘතයි – සුරාබදු දෙපාර්තමේන්තුව

හෙට (07) මහ සිකුරාදා දින රජයේ නිවාඩු දිනයක් වුවත් දිවයින පුරා සියලු සුරාසැල් විවෘත කර තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මස 13 හා 14 යන දිනයන්හි දී පමණක් සුරාසැල් වසා තබන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

ධනුෂ්ක ගුණතිලකට සමාජ මාධ්‍ය භාවිතය සඳහා තිබූ තහනම ඉවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් නිකුත්කර තිබූ නියෝගය ඉවත් කිරීමට ඔස්ට්‍රේලියානු අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව සිඩ්නි හි ඩව්නිං සෙන්ටර් අධිකරණයේදී එම නඩුව අද (07) යළි කැඳවු අවස්ථාවේදී මෙම නියෝගය සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

සිඩ්නි හි නැගෙනහිර රෝස් බේ හි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවූ අතර ඔහු මේ වන විට ඇප මත නිදහස් කර තිබෙනවා.

ඔහුගේ නඩුව යළි අප්‍රේල් 27 වනදා කැඳවීමට නියමිතයි.

සමෘද්ධි බැංකු නිලධාරීන් අද වැඩ වර්ජනයක

අද (06) දිනයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වන බව සමස්ත ලංකා සමෘද්ධි බැංකු සංගම් හා කාර්යාල නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව එහි ප්‍රධාන ලේකම් ජී.එම්.ඒ.බී බස්නායක සඳහන් කළේ, සේවා සංයුතියේ සහ දීමනාව වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බවයි.

මේ අතර ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩල සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක වනවා.

ප්‍රති ත්‍රස්ත පනතට නීතීඥ සංගමයේ විරෝධය

රටේ පුරවැසියන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් සෘජුව හෝ වක්‍රව සීමාකෙරෙන නීති සම්පාදනය නොකළ යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ දැඩි ස්ථාවරය බව එම සංගමය නිවේදනය කරනවා.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැසට් කර ඇත්තේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු අදාළ පාර්ශ්වකරුවන් සමග ප්‍රමාණවත් උපදේශනයකින් තොරව බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරන්නේ.

පනත් කෙටුම්පතේ නිත්‍යානුකූලභාවය සහ එහි ප්‍රතිවිපාක සමාලෝචනය කිරීමට කමිටුවක් ද පත්කර ඇති බවයි සිය නිවේදනය මගින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණයට දේශීය සමාගමක්

රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සුවිශේෂි ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවක් මුදල් අමාත්‍යාංශය විසින් පත්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව සුවිශේෂී සොයා බැලීමක් සිදුකර එම ආයතනවලට ගැලපෙන පරිදි ඉතා විනිවිදභාවයෙන් යුතු ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

අදාළ ආයතනය වෘත්තීය මට්ටමේ අධ්‍යක්ෂක මණ්ඩලයක් යටතේ සමාගම් පනත යටතේ විධිමත්ව පරිපාලනය කරන බවත් ප්‍රතිව්‍යුහගත කළයුතු රජයේ ව්‍යාපාර Public Enterprise Holding Ltd නම් සමාගම යටතට පත් කරන බවයි රාජ්‍ය ඇමතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

එම සමාගම මැලේසියානු සහ සිංගප්පූරු සමාගම්වල මොඩලයට සමාන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ජල සම්පාදන සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කරයි

සිය ඉල්ලීම් සඳහා නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් ජල සම්පාදන හා ජලාපවාහන සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජල සම්පාදන වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක සඳහන් කළේ, සියලු කාර්යාල සේවා හා පාරිභෝගික සේවාවලින් ඉවත්වීමට කටයුතු කරන බවයි.

කෙසේ නමුත් ජනතාවට සිදුවන අපහසුතාව සලකා ජල සැපයුම පමණක් පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් පොම්පාගාර හා පවිත්‍රාගාර කටයුතු පමණක් සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

බක් පුර පසළොස්වක පොහොය දිනය අදයි

බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේ, බක් පුර පසළොස්වක පොහොය දිනයක වන අතර චූලෝදර සහ මහෝදර නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කළ බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ.

එමෙන්ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලෙකු දැක ඇත්තේ ද බක්පුර පසලොස්වක පොහෝ දිනකයි.

පොහොය දිනය වෙනුවෙන් අද උදෑසන සිටම දිවයිනේ වෙහෙර විහාරස්ථානවල ආමිස හා ප්‍රතිපත්ති පූජා රැසක් පැවැත්වෙනවා.

ඉන්ධන කෝටාව ඉහළට

සිංහල හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් දැනට පවතින ඉන්ධන කෝටාව ඉහළ දමා ඇති අතර එය අද මධ්‍යම රාත්‍රියේ සිට යාවත්කාලීන වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

කලින් සැලසුම් කළ පරිදි උත්සව සමයේ වැඩිවන අවශ්‍යතාවය අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවශ්‍ය ඉන්ධන තොග ඇණවුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ ඉහළ දැමූ ආකාරය පහතින්,

*ත්‍රීරෝද රථ (විශේෂ) – (දැනට පවතින ලීටර 10) – ලීටර් 15 දක්වා
*ත්‍රීරෝද රථ (සාමාන්‍ය) – (දැනට පවතින ලීටර 5) – ලීටර් 8 දක්වා
*යතුරුපැදි – (දැනට පවතින ලීටර 4) – ලීටර් 7 දක්වා
*බස් රථ – (දැනට පවතින ලීටර 40) – ලීටර් 60 දක්වා
*මෝටර් රථ – (දැනට පවතින ලීටර 20) – ලීටර් 30 දක්වා
*වෑන් රථ – (දැනට පවතින ලීටර 20) – ලීටර් 30 දක්වා
*ගොඩබිම් වාහන – (දැනට පවතින ලීටර 15) – ලීටර් 25 දක්වා
*ලොරි රථ – (දැනට පවතින ලීටර 50) – ලීටර් 75 දක්වා
*විශේෂ කාර්ය වාහන (දැනට පවතින ලීටර 20 ) – ලීටර් 30 දක්වා

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ආරම්භ කිරීමට නායකත්වය ලබාදීමට වෘත්තීය සංගම් තීරණය කරයි

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ආරම්භ කිරීම සඳහා නායකත්වය ලබාදීමට අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි ජාතික එකමුතුවේ, සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ, දෛනික දීමනාවක් ලෙස ලබාදීමට අමාත්‍යවරයා පොරොන්දු වූ බවයි.

කිලෝ මීටර් 80ට අඩු දුර ප්‍රමාණය සහිත ගුරුවරුන්ට රුපියල් 2,000ක දීමනාවක් සහ කිලෝ මීටර් 80ට වැඩි පිරිස් සඳහා 2,900ක දිමනාවක් ලබාදීමට අමාත්‍යවරයා එකඟතාව පළකර ඇති බවයි පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන්ධන බෙදාහැරීමට අවසර හිමිවූ විදෙස් සමාගම් සමඟ ඉදිරි සති කිහිපයේ ගිවිසුම්ගතවීමට තීරණය කෙරේ

මෙරට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා අවසර හිමිවූ විදෙස් සමාගම් තුන සමග ඉදිරි සති කිහිපය තුළ ගිවිසුම්ගතවීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව ඉදිරි මාස දෙක තුළ එම සමාගම් විසින් සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඉන්ධන සමාගම්වල තරගකාරීත්වය හරහා ජනතාවට සහන ලබාදීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.