ශ්‍රී ලංකා සහ දකුණු කොරියානු ජනපතිවරුන් අතර හමුවක්

ශ්‍රි ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබා දෙන බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් (Yoon Suk Yeol) ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයෙන් රටත්, ජනතාවත් නිදහස් කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළ අගය කළ දකුණු කොරියානු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා සිදු කරන කැපවීම ද පැසසුමට ලක් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එසේම ශ්‍රී ලංකාවට අදාළව මේ වනවිට දකුණු කොරියාව ලබා දී ඇති රැකියා කාණ්ඩ ප්‍රමාණය වැඩි කිරීමට අපේක්ෂා කරන බවත්, ඒ තුළින් ඉදිරියේ දී ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට දකුණු කොරියාවේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් උදාවනු ඇති බවත් දකුණු කොරියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

6508f0c3a867apdf_page_0 6508f0c3baad9pdf_page_1

ආර්ථිකය 3.1% කින් තවදුරටත් හැකිළෙයි – ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව

පසුගිය වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ දෙවැනි කාර්තුවේදී මෙරට ආර්ථිකය 3.1%කින් සංකෝචනය වී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

2022 දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,680,074 ක් වූ අතර, මෙම වසරේ දෙවැනි කාර්තුවේදී එය රුපියල් මිලියන 2,597,441 ක් දක්වා අඩුවී ඇති බවයි ඔවුන් නිවේදනය කරන්නේ.

මෙම කාර්තුව තුළ කෘෂිකර්ම කටයුතු 3.6% කින් ප්‍රසාරණය වී ඇති අතර කාර්මික කටයුතු 11.5% කින් හා සේවා කටයුතු 0.8% කින් හැකිළී ඇති බවද, ඉහළ පොලී අනුපාත හේතුවෙන් කෙටි කාලීන සහ දිගුකාලීන ආයෝජන මත ඇති වූ පීඩන ඊට බලපා ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.

සාමාන්‍ය ජනතාවගේ සැබෑ ආදායම අඩුවීම තුළින් ඇති වන පීඩනය හේතුවෙන් සාමාන්‍ය ජනතාවගේ පරිභෝජන රටාව ප්‍රධාන වශයෙන් පාරිභෝගික භාණ්ඩ පරිභෝජනයට පමණක් සීමා වී ඇති බව නිරීක්ෂණය වන බවද අදාළ වාර්තාවේ දැක්වෙනවා.

65080af74408f

විදුලිබල, ඉන්ධන සහ රෝහල් සම්බන්ධ සේවා ​අනිවාර්ය සේවා බවට පත් කෙරේ

තවත් සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පහත සඳහන් දෑ සම්බන්ධ වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබෙනවා.

– විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවා

– ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම සම්බන්ධ සියලු සේවා

– රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා හා සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම, පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම හා සම්බන්ධ සියලු සේවා

උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාර​යේ විමර්ශන CIDයට

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථය ඉලක්ක කර එල්ල වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන බව පොලීසිය පවසනවා.

ඒ අනුව පොලිස්පතිවරයාගේ නියමයෙන් අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අද ඇරඹෙයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අද (18) අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසරභාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම යන තේමාවෙන් යටතේ මෙවර සමුළුව පැවැත්වීමට නියමතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලබන 21 වැනිදා සැසිවාරය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ඉලක්ක කර ඊයේ (17) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලිසිය පවසනවා.

අනුරාධපුර, ගුවන් තොටුපොළ පාරේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදී මන්ත්‍රීවරයා මෝටර් රථයෙන් බැස, ගේට්ටුවෙන් නිවසට ඇතුලුවන අවස්ථාවේදී වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර ඉන් මන්ත්‍රීවරයාට කිසිදු හානියක් සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.

පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම කර ඇති බවද, සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසීය විමර්ශන ආරම්භ කර ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

ක්‍රීඩාංගන සේවකයින්ට $50,000 ක මූල්‍ය ත්‍යාගයක් පිරිනැමේ

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ හා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ තණතීරු භාරකරුවන්ට හා ක්‍රීඩාංගන සේවකයින්ට මූල්‍ය ත්‍යාග පිරිනැමීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ආසියානු ක්‍රිකට් කවුන්සලය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඇමෙරිකානු ඩොලර් 50,000 ක මූල්‍ය ත්‍යාගයක් මෙලෙස ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

මෙවර තරගාවලියේ තරග රැසකට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, එහිදී තරග පැවැත්වීම වෙනුවෙන් ක්‍රීඩාංගන සේවකයින් දැක් වූ දායකත්වය පාර්ශව රැසක ඇගයීමට ලක්වුණා.

ආසියානු කුසලාන අවසන් තරගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක සැලැස්මක්

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය අද (17) ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම අතර කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ඛෙත්තාරාම ක්‍රීඩා පිටිය ආසන්නයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

තරගය නැරඹීම සඳහා වාහනවලින් පැමිණෙන පුද්ගලයින් ඛෙත්තාරාම මංසන්ධියේ දී වාහනවලින් බැසීමට සිදුවන බවත් ඉන්පසුව අදාළ ස්ථානවල රථගාල් 10 ක් පමණ ඇති අතර මෙම රථගාල්වල වාහන නතරකිරීමේ හැකියාව ඇති බවයි ඔහු සඳහන් කළේ.

අදාළ රථගාල්වල කිසිඳු මුදලක් අය නොකරන බවත් තැරැව්කරුවන්ටද මුදල් ලබාදීමෙන් වළකින ලෙසයි පොලීසිය මහජනතාවට දැනුම්දෙන්නේ.

තරගය නැරඹීම සඳහා වීදුරු වතුර බෝතල්, ගිනිපෙට්ටි, නලා, පෝස්ටර්, ලයිටර් හෝ ගෑස් අඩංගු දෑ සහ ආරක්ෂාවට බාධා වන කිසිදු දෙයක් ගෙනයාමට නොහැකි බවත් හෙල්මට් හෝ ජැකට් ගෙනයාමේ හැකියාවක් නොමැති නිසා ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසයි වැඩිදුරටත් දැනුම්දෙන්නේ.

ව්‍යාපාර කිරීමෙන් සම්පූර්ණයෙන් ඉවත්වීමට රජය සූදානම් වෙයි

ඉදිරියේදී රජය ව්‍යාපාර කිරීමෙන් සම්පූර්ණයෙන් ඉවත්වී නියාමනය කිරීම පමණක් සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව අනාගතයේ දී රජයේ ආර්ථික ප්‍රතිපත්ති මූලිකවම පෞද්ගලික ක්ෂේත්‍රය මත රඳා පවතිනු ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

රජය ආර්ථිකය ස්ථායිකරණයේ සැලකිය යුතු වර්ධනයක් ළඟා කරගෙන ඇති බවත් ශ්‍රී ලංකාව එහි ණය ප්‍රතිව්‍යුහගතකරණය 2023 වසරේ අවසන් කාර්තුවේදී අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Channel 4 චෝදනා ගැන සෙවීමට ජනපතිගෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

පාස්කු ප්‍රහාරය ගැන Channel 4 වාර්තා වැඩසටහනෙන් හෙළිදරව් කළ කරුණු සහ චෝදනා සම්බන්ධයෙන් සොයා ලැබීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

ඒ අනුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමික ගුවන් හමුදාපති ඒ. සී. එම්. ජයලත් වීරක්කොඩි සහ ජනාධිපති නීතිඥ හර්ෂ ඒ. ජේ. සෝසා පත්කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.