පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් විසින් එම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත මෙම නව පනත් කෙටුම්පත මඟින් අහෝසි වීම සිදුවන බවයි සඳහන් වන්නේ.

ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරීමේ නියමු ව්‍යාපෘතිය අද ආරම්භ කෙරේ

මෙරට පවතින ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (11) සිට ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

එම ව්‍යාපෘතිය යටතේ පළමු අදියර වශයෙන් ත්‍රිරෝද රථ 300ක් විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරීම සිදුකරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සඳහන් කළා.

ඒ අනුව ඉදිරියේදී ලක්ෂ 5 ක් පමණ ත්‍රීරෝද රථ ප්‍රමාණයක් විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරිමට බලාපොරොත්තු වන බවයි ඔහු සඳහන් කළේ.

ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරීම මඟින් පරිසරයට කිසිදු හානියක් නොවන බවද ත්‍රීරෝද රථවලටද මෙමගින් විශාල ලාභයක් ඇති වන බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය අවසන් වෙයි

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංකේත වැඩ වර්ජනය අවසන් කර ඇති බව එම සංගමය පවසනවා. ඒ අනුව අද (11) සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරන්නේ. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක් ඊයේ (10) දිනයේ අවලංගු වී තිබුණා.

වර්ජනය හේතුවෙන් අද සව​ස කාර්යාල දුම්රිය කිහිපයක් අවලංගු වෙයි

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංකේත වැඩවර්ජනය හේතුවෙන් අද (10) සවස ධාවනයට නියමිතව තිබූ දුම්රිය කිහිපයක් අවලංගු වන බව එම සංගමය පවසනවා.

ඒ අනුව කාර්යාල දුම්රිය 5 ක් සහ සියළුම රාත්‍රී තැපැල් දුම්රියන් අද දින ධාවනය නොවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම එම දුම්රියවලට අමතරව තවත් දුම්රිය අවලංගු විය හැකි බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

හිටපු නීතිපතිගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය දීර්ඝ කෙරේ

හිටපු නීතිපති දප්පුල ද ලිවේරාව අත්අඩංගුවට ගැනීම සහ ප්‍රකාශ සටහන් කර ගැනීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය ජූනි මස 22 වනදා දක්වා දීර්ඝ කිරීමට නියෝග කර තිබෙනවා.

හිටපු නීතිපතිවරයා විසින් ගොනුකළ රිට් පෙත්සම අද (05) අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

පෙත්සම්කාර හිටපු නීතිපතිවරයා සිය පෙත්සම මඟින් පෙන්වා දෙන්නේ, තමා නීතිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී කරන ලද ක්‍රියාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පොලීසියට හැකියාව නොමැති බවත් ඒ තුළින් නීතිපතිවරයා සතු වරප්‍රසාද උල්ලංඝනය වීමක් සිදුවන බවයි.

මේ හේතුවෙන් තමන්ගෙන් ප්‍රශ්න කිරීම් සහ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ඔහු මෙම පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු​ට පහරදුන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදී රාජකාරියට බාධා කළ සැකකරුවන් තිදෙනෙකු කපුගොල්ලෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැමිණිල්ලක් විභාග කිරීම සඳහා ගිය කපුගොල්ලෑව පොලිස් ස්ථානයේ නිලධාරින් දෙදෙනෙකුට ඊයේ (09) දිනයේ මෙම පහරදීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 21, 23 සහ 24 වයස්වල පසුවන අලියාකඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක් බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරුවන් අද (10) කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පරිගණක පද්ධතියේ දෝෂයක් හේතුවෙන් කොන්සියුලර් අංශයේ කටයුතුවලට බාධා

පරිගණක පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ කටයුතුවලට බාධා පැමිණ ඇති බව එම අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව කොන්සියුලර් අංශයේ ලේඛන සත්‍යාපන කටයුතුවලට මෙලෙස බාධා පැමිණ ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත්කරන තෙක් හදිසි ලේඛන පමණක් ක්‍රියාවලියට යටත් කරන බවත්, සත්‍යාපන කටයුතු හැර කොන්සියුලර් කාර්යාලයේ සෙසු කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

උදෑසන කාර්යාල දුම්රිය 5 ක් අවලංගු වෙයි

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංකේත වැඩවර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය 5 ක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර තිබුණා.

දූෂිත චෝදනා ලබා සිටින චන්ද්‍රසේන බණ්ඩාර වෙත වාණිජ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) තනතුර පිරිනැමීමට විරෝධය පළ කරමින් මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කර තිබුණා.

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලයේදී

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙවර පොසොන් උත්සවයේ තේමාව වන්නේ “නැගෙමු , පිබිදෙමු, යෙදෙමු , සුරකිමු, මිහිදු මා හිමි දෙසු දහම්” යන්න බවයි සඳහන් වන්නේ.

2019 න් පසුව උත්සවශ්‍රීයෙන් සමරන්නට සැරසෙන පොසොන් රාජ්‍ය පිංකම සඳහා සියලු ආයතනවල සහය නොමදවම ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමිපාණන් සඳහන් කළේ.

ජුනි මස 02 වනදා සිට 04 වනදා දක්වා සුවිශේෂි පිංකම් රැසක් මිහින්තලාව කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

කුරුණෑගල හිටපු නගරාධිපති​ව ධූරයෙන් පහකරමින් ගැසට් නිවේදනයක්

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ එම ධුරයෙන් පහ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඔහු සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී ඔහුට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා 18 කින් 11කටම ඔහු වැරදිකරු බවට තීන්දු කර ඇති බවයි සඳහන් වන්නේ.

හිටපු නගරාධිපතිවරයාගේ පාලන කාලය තුළ වැරදි සිදුකර ඇත්දැයි සෙවීම සඳහා වයඹ පළාත් ආණ්ඩුකාර, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ නියමයෙන් පත් කරන ලද කොමිසම විසින් එම තීන්දුව ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

a379bcf43c9c580d5f77790467b99eb1