උඩරට මාර්ගයේ දුම්රිය පිලී පැනීමක්

බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10.15 ට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය හීල් ඔය හා බණ්ඩාරවෙල දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්ව තිබෙනවා.

ඒ අනුව මේ වන විට ප්‍රධාන මාර්ගයේ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන දුම්රියන් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වන බවයි සඳහන් වන්නේ.

විශාල දේපලක් ඇති අයට න​ව බද්දක් හඳුන්වාදීමට රජයේ අවධානය

2025 වර්ෂයේ සිට නව දේපල බද්දක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව මූල්‍ය අරමුදලේ නිර්දේශවලට අනුව අදාළ බද්ද හඳුන්වාදීම සඳහා සැලසුම් කර ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම බද්ද අයකිරීම සිදුකරනු ලබන්නේ ගෙවීමට හැකි අයගෙන් පමණක් බවත් මෙය සෘජු බදුවලට අයත් වන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

විශාල වශයෙන් දේපොළ පවතින පුද්ගලයින්ගෙන් එම බද්ද අය කිරීමට බලාපොරොත්තු වන බවත් මෙම යෝජනාව දැඩි ලෙස විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව 2025 වසරේදී අය කිරීමට යෝජනා කර ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.

වී තොගයක් අස්ථානගතවීමේ සිද්ධිය​කට නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි රජයේ වී ගබඩා දෙකකින් වී තොග ලක්ෂ 7ක ප්‍රමාණයක් අස්ථානගත වී ඇති බව වී අලෙවි මණ්ඩලය පවසනවා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවයි එහි සභාපතිවරයා සඳහන් කළේ.

අස්ථානගත වී ඇති වී තොගවල වටිනාකම රුපියල් මිලියන 650 – 700 ත් අතර බව ඇස්තමේන්තු ගත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඉදිරි මාස 06 තුළදී පාතාල ක්‍රියා නැවැත්වීමට අදාළ සැලැස්ම ක්‍රියාත්මක කරලා තියෙනවා – දේශබන්දු තෙන්නකෝන්

ඉදිරි මාස 06 තුළ ආයුධ සන්නද්ධ කණ්ඩායම් පාලනය කර, පාතාල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අදාළ සැලසුම් ක්‍රියාත්මක කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

ඒ අනුව දකුණු පළාත හා බස්නාහිර පළාත තුළ සන්නද්ධ අපරාධකරුවන් පුද්ගල ඝාතන සිදුකරන බවත් මේවා සියල්ල මෙහෙයවීම සිදුකරන්නේ විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලෙන ප්‍රධාන පෙළේ අපරාධකරුවන් බවයි ඔහු සඳහන් කළේ.

ඉතාම ක්‍රමානුකූල වැඩපිළිවෙළක් යටතේ ඉදිරි මාස 06 තුළ මේ සන්නද්ධ කණ්ඩායම් සහ පාතාල ක්‍රියා නතර කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කරමින් ඇති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.

ව්‍යාපාරිකයින්ට තර්ජනය කර කප්පම් ලබා ගන්නා පිරිස් සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් ඒවා ලබාදෙන ලෙසයි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩිදුරටත් සඳහන් කළේ.

Shi Yan 6 නෞකාව මුහුදේ සිදුකරන පර්යේෂණ කටයුතු අද ආරම්භ කරයි

“Shi Yan 6” චීන පර්යේෂණ නෞකාව, නාරා ආයතනය සමග එක්ව මෙරට බටහිර මුහුදේ සිදුකරන පර්යේෂණ කටයුතු අද (30) ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

Shi Yan 6 චීන පර්යේෂණ නෞකාව පසුගිය 25 වන දා කොළඹ වරායට ළඟා වු අතර අදාළ පර්යේෂණ අද සහ හෙට (31) යන දෙදින තුළ සිදුකිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය අවසර ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම පර්යේෂණයට අදාළව නෞකාවේ තාක්ෂණය යොදා ගනිමින් බටහිර මුහුදේ ජල සාම්පල ලබාගැනීමට නියමිත අතර එහිදී මුහුදු ජලයේ ලවණතාවය සහ උෂ්ණත්වය පිළිබඳ පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.

මෙම පරීක්ෂණ කටයුතු සඳහා නාරා ආයතනය මෙන්ම නාවික හමුදා නිලධාරීන් ද සහභාගී වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයන් 37 ක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයන් 37 දෙනෙක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ අනුව ඊයේ පස්වරුවේ සිට අද අලුයම දක්වා සිදුකළ සෝදිසි කිරීම්වලදී මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ ඩෙල්ෆ් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ධීවර යාත්‍රා 5ක් ද සමග ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයි මන්නාරම සහ යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.

ක්ෂේත්‍ර රැසක රාජ්‍ය සේවකයින් හෙට විරෝධතාවල

මෙවර ‍අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලා දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට (30) දහවල් 12.00 ට එම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වීමට නියමිත බවයි එම වෘත්තීය සමිති එකතුවේ සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි සඳහන් කළේ.

සංවර්ධන නිලධාරී, කළමනාකරණ සේවා නිලධාරී, ග්‍රාම නිලධාරී, සමෘද්ධි, කාර්යාල සේවා, පළාත් රාජ්‍ය සේවා ඇතුළු සේවා ගණනාවක් ඒකාබද්ධව මෙම උද්ඝෝෂණය පවත්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ඊයේ රාත්‍රියේ ප්‍රදේශ රැසක මහජන විරෝධතා

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ප්‍රදේශ කිහිපයක ඊයේ (28) රාත්‍රියේ ද මහජන විරෝධතා පවත්වා තිබෙනවා.

ඒ අනුව මීගමුව- පිටපන ප්‍රදේශයේ ජනතාව විසින් විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව විරෝධතාවක් සංවිධානය කර තිබුණා.

මීට අමතරව කුරුණෑගල, අලුත්වල, අම්පාර, හොරණ යන ප්‍රදේශවල සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය විසින්ද විරෝධතා සංවිධානය කර තිබූ බවයි සඳහන් වන්නේ.

මෙම මහජන විරෝධතා සඳහා ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

අනුලා රත්නායකගේ දේහය දිවයිනට

ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් අතරතුර මියගිය අනුලා රත්නායකගේ දේහය දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

පසුගිය 07වනදා දේශසීමාව ආක්‍රමණය කළ හමාස් සටන්කාමීන් ඇය පදිංචිව සිටි ඊශ්‍රායල දේශසීමාව ආසන්නයේ ගම්මානයට ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

එම ප්‍රහාරයෙන් ඇය මියගොස් තිබූ අතර මිය යන විට 49 වැනි වියේ පසුවූ අනුලා රත්නායක දෙදරු මවක්.

දේහය දහවල් පවුලේ ඥාතීන්ට භාරදීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව මහ රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව ඊයේ රාත්‍රියේත් ප්‍රදේශ කීපය​ක පන්දම් විරෝධතා

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ඊයේ (27) රාත්‍රියේ ද ප්‍රදේශ කිහිපයක පන්දම් දල්වමින් මහජන විරෝධතා පවත්වා තිබෙනවා.

බෙලිඅත්ත සහ හෝමාගම යන ප්‍රදේශවල ජාතික ජනබලවේගය විසින් විරෝධතා සංවිධානය කර තිබූ අතර, ගලිගමුව, පානදුර, වරකාපොළ, මාවතගම සහ කළුතර යන ප්‍රදේශවල සමගි ජන බලවේගය විසින් පන්දම් විරෝධතා සංවිධානය කර තිබුනා.

එමෙන්ම 43 වැනි සේනාංකය පිටකොටුවේදී විරෝධතාවක් සංවිධානය කර තිබූ අතර, Youth for Change සංවිධානය නුගේගොඩදී විරෝධතාවක් සංවිධානය කර තිබුනා.

තවද විදුලි බිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ගෙලිඔය ශ්‍රී වේළුවනාරාම විහාරස්ථානයේ කළු කොඩි ප්‍රදර්ශනය කර තිබූ බවද වාර්තා වනවා.