වෘත්තීයවේදීන්ගේ විරෝධතාව ආරම්භ වෙයි

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව මේ වන විට කොළඹදී විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

වෘත්තිකයින් මත පනවා ඇති අසීමිත බදු බර අඩු කරන ලෙස ඉල්ලා මෙම විරෝධතාව සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ.

මේ හේතුවෙන් කොළඹ ලෝටස් මාර්ගයේ එක් මං තීරුවක් අවහිර වී ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

විදුලි ගාස්තු වැඩිවීම නිසා බස් ගාස්තු සංශෝධනයකට යා යුතුයි – ගැමුණු

බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අනුව බස් ගාස්තු සංශෝධනයකට යාමට හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

කෙසේ නමුත් මෙම මාසයේ සිට විදුලි ගාස්තු ඉහළ දමා ඇති බවත් එයට සාපේක්ෂව අනෙකුත් ගාස්තු වැඩිවන විට ගාස්තු සංශෝධනයට යා යුතුව ඇති බවයි එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.

ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ බස් ගාස්තු සංශෝධනයකට යාමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ලබන මාසයේ යළිත් ඉන්ධන වැඩි වුනොත් බස් ගාස්තු සංශෝධනයකට යා යුතුයි – අංජන ප්‍රියන්ජිත්

ඩීසල් මිල ඉහළ ගිය ද, බස් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය නොමැති බව  සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව එහි ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන් කළේ, ලබන මාසයේදී ඉන්ධන මිල ඉහළ ගියහොත් අනිවාර්යෙන්ම බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බවයි.

ඩීසල් මිල රුපියල් 5 කින් ඉහළ දැමීම බස් හිමියාට දරාගත නොහැකි තත්ත්වයක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මාස 03කට වරක් විදුලි ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

සෑම මාස 03කටම වරක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

මෙතෙක් මාස 6 කට වරක් ක්‍රියාත්මක වූ විදුලි ගාස්තු සංශෝධනය වෙනුවට ඉදිරිපත් වූ මෙම නව සංශෝධනයට ඊයේ (30) රැස්වූ කැබනට් මණ්ඩලයේදී අනුමැතිය ලබාදුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

ඒ අනුව දැනට ක්‍රියාත්මක පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා සහ විදුලිබල අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

6540bd1d40e32

VAT බද්ද 2024 වසරේ සිට 18% ක් දක්වා ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය

එකතු කළ අගය මත වන බදු අනුපාතිකය 2024.01.01 සිට ක්‍රියාත්මක වන පරිදි දැනට පවතින 15% සිට 18% දක්වා ඉහළ දැමීමට අදාළ නීති සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.

ජාතන්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟවී ඇති බදු එකතු කිරීමේ ඉලක්ක සපුරා ගැනීමට මෙතෙක් හැකියාවක් නොමැතිවී ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ අනුව බදු ආදායම් සහ ප්‍රථමික ශේෂ ඉලක්ක සපුරා ගැනීමට හැකිවන ලෙස එකතු කළ අගය මත වන බදු අනුපාතිකය 2024.01.01 සිට ක්‍රියාත්මක වන පරිදි 18% දක්වා ඉහළ දැමීමට අනුමැතිය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

එසේම දැනට එකතු කළ අගය මත බද්ද අදාළ නොවන ඇතැම් භාණ්ඩ සහ සේවා මත එම බදු පැනවීමට අදාළ නව බදු යෝජනා කිහිපයක්ද 2024.01.01 සිට ක්‍රියාත්මක කිරීමට අදාළ නීති සංශෝධනය කිරීමට අනුමැතිය ලබාදී ඇති බව වැඩිදුරටත් සඳහන්.

අදාළ කැබිනට් තීරණය පහතින්.

6540b232c8b40

රවී සෙනෙවිරත්නට ඇප

අනතුරක් සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ අනුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත ඔහු මුදා හැරීමට ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න පැදවූ මෝටර් රථය පසුගියදා මෝටර් රථයක සහ සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගැනෙන බස් රථයක ගැටී අනතුරක් සිදුව තිබුණා

ඖෂධ නියාමන අධිකාරියට නව සභාපතිවරයෙක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සහාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පත්කර තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ අමාත්‍යවරයා පැවැත් වූ විශේෂ සාකච්ඡාවේදී මෙම පත්වීම ප්‍රදානය කර තිබෙනවා.

හෙට දැවැන්ත විරෝධතාවක් සඳහා විදුලි සේවකයින් කොළඹට

සියලු විදුලි සේවකයින් හෙට (01) කොළඹට කැඳවා විරෝධතාවක් පවත්වන බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා.

විදුලිබල මණ්ඩලය විකිණීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් එම විරෝධතාව පවත්වන බවයි එහි ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් සඳහන් කළේ.

ලංකා විදුලි බල මණ්ඩලය විදෙස් සමාගම් 14කට විකිණීමට ආණ්ඩුව සූදානම් වන බවත්, ඒවා කොටස් කර ඉන්දියානු සහ චීන සමාගම්වලට ලබාදීමට සූදානම් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ අනුව නොවැම්බර් 01 වෙනිදා ලංකා විදුලි බල මණ්ඩලය ස්ථාපිත කර 54 වන සංවත්සරය පවත්වන දිනයේදී සියලු සේවකයින් කොළඹට ගෙන්වා දහවල් 12.00 ට විරෝධතාවක් ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව යළිත් ඉහළට

දිවයිනෙන් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව කලාප 24ක් ඩෙංගු අධි අවදානම් තත්ත්වයේ පවතින බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න සඳහන් කළේ.

මේ මාසයේ මේ දක්වා වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 3631 ක් බවත්, එම සංඛ්‍යාව පසුගිය මාසයේ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවට වඩා රෝගීන් දහසකට ආසන්න වැඩි වීමක් බවයි එම ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.

අද සවස කාර්යාල දුම්රිය කිහිපයක් අවලංගු වෙයි

අද (30) සවස කාර්යාල දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අද දිනයේ දුම්රිය නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුව ඇති බවයි සඳහන් වන්නේ.