ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානයක්

රාජකීය ඔස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් KA350 King Air ගුවන් යානයක් ශ්‍රී ලංකා රජයට ප්‍රදානය කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ස්වෛරී ගුවන් නාවික නිරීක්ෂණ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ඔස්ට්‍රේලියානු රජය විසින් එම ප්‍රදානය කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 11 ක් රෝහලට

නර්තන කණ්ඩායමක් සමග ගමන් කරමින් සිටි වෑන් රථයක් බදුල්ල, හාලිඇළ ප්‍රදේශයේ දී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අද (14) අලුයම එම අනතුර සිදුව ඇති අතර අදාළ වෑන් රථයේ රියදුරුට නින්ද යෑම හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෑන් රථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ගසක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති අතර තුවාල ලැබූවන් අතර අවුරුදු 18 – 20 අතර වයස් කාණ්ඩවල පසුවන ගැහැණු ළමුන් 08 දෙනෙකු සහ පිරිමි ළමුන් දෙදෙනෙකුද, වෑන් රථයේ රියදුරුද සිටින බවයි සඳහන් වන්නේ.

බෝලවත්ත දුම්රිය ස්ථානයට පහර දුන් දෙදෙනෙකු අත්අඩංගුවට

වෙන්නප්පුව, බෝලවත්ත දුම්රිය ස්ථානයට එල්ල වූ මැර ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

බෝලවත්ත දුම්රිය ස්ථානයේ වේදිකාව මත පුද්ගලයින් කිහිපදෙනෙකු මත්පැන් පානය කරමින් සිට ඇති අතර ඔවුන්ට එම පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය දැනුම්දී ඇති අතර එහිදී මෙම පහරදීම සිදුව තිබෙනවා.

පහරකෑමෙන් බෝලවත්ත දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර සිද්ධියෙන් පසු බෝලවත්ත දුම්රිය ස්ථානය ඊයේ රාත්‍රී තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 34 සහ 45 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමට කටයුතු කළ යුතුයි – අධ්‍යාපන ඇමති

පාසල් නිවාඩු කාලය තුලදී පාසල් පරිශ්‍ර පිරිසිදු කර ගැනීමට දෙමාපියන් සහ පාසල් සංවර්ධන සමිති එක්ව කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් පාසල් සති දෙකක කාලයක් නිවාඩු ලබාදෙන බවත් එම කාලය තුළ පාසල් සංවර්ධන සමිති එක්ව පාසල් පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එමගින් ඩෙංගු අවදානමෙන් දරුවන් බේරා ගත හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

දුර ගමන් බස් රථ සඳහා GPS උපකරණ සවි කිරීමට පියවර

සියලු අන්තර් පළාත් බස් රථ සේවා සඳහා GPS උපකරණ සවි කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිසම පවසනවා.

දැනටමත් ලියාපදිංචිව ඇති බස් රථවලින් 1/3කට අදාළ උපකරණ සවි කර ඇති බවයි කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා සඳහන් කර සිටියේ.

මෙමඟින් බස් රථ කොපමණ වේලාවක් බස් නැවතුම්පොළවල නවත්වාගෙන සිටිනවාද යන්න පිළිබඳවත් නිරික්ෂණය කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබුණා.

ස්විස්ලන්තයේ නාය යෑමේ අවදානමක් නිසා 100 දෙනෙකුට අධික පිරිසක් ඉවත් කෙරේ

ස්විස්ලන්තයේ Brienz නගරයේ පුද්ගලයින් 100 දෙනෙකුට අධික පිරිසක් පසුගිය පැය 48ක කාලය තුළ එම නගරයෙන් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබුණා.

නගරය ආසන්නයේ ඇති පර්වතයක් නාය යෑමේ අවදානමක පවතින බවට භූ විද්‍යාඥයින් කළ අනතුරු ඇඟවීමක් හේතුවෙන් අදාළ පිරිස නගරයෙන් ඉවත් කිරීමට ස්විස් බලධාරීන් කටයුතු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

අදාළ නාය යෑමේ ඡායාරූප කිහිපයක් පහතින්,

f5e8cbd2e82ccae9e2d8bf3913dd4adf 01c5a78befe4a0f3e24d66f4b51c4272 657944e47f1251c72a31cd1fc705e1e2 827ac34f76d52b99d507a16b8c1d24ab

නව විදුලිබල පනතේ කටයුතු දැන් අවසන් අදියරේ – කංචන විජේසේකර

නව විදුලිබල පනතේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් සටහනක් තබමින් පවසා සිටිනවා.

එහි පිටපත් පාර්ශ්වකරුවන්, සංවර්ධන නියෝජිතයින් සහ ප්‍රතිව්‍යුහගතකරණ විශේෂඥයින් වෙත ලබාදී ඔවුන්ගේ නීරීක්ෂණ හා නිර්දේශ ලබාගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඉන් අනතුරුව අවසන් කෙටුම්පත මෙම මාසයේ අවසානය වන විට නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් පසු කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තු අනුමැතිය සඳහා යොමු කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

6eeeeb80c0baf6edbe542552ef9d86e4

විදේශ විනිමය ගෙන දෙන ක්ෂේත්‍රයක් ලෙස හෙද සේවය දියුණු කළ යුතුයි – සාගල රත්නායක

ජනතා සෞඛ්‍ය රැක දෙන ක්ෂේත්‍රයක් මෙන්ම රටට විදේශ විනිමය ගෙන දෙන ක්ෂේත්‍රයක් ලෙස හෙද සේවය දියුණු කළ යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පවසනවා.

ඔහු පවසා සිටියේ ‘හෙල්ත් ටුවරිසම්’ (Health Tourism ) මගින් රටට ආදායම් උත්පාදනයට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීමට අපේක්ෂා කරන බවයි.

ශ්‍රී ලංකාව වැනි සුන්දර පරිසරයක් තිබෙන රටක ‘හෙල්ත් ටුවරිසම්’ වැඩපිළිවෙළ හිතකර බවත්, හෙද ක්ෂේත්‍රය තුළින් ද නව වැඩසටහන් ඇති කරමින් රටට ආදායම් ගෙන එන ව්‍යාපාර ඇති කළ යුතුව ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

කොස්ලන්දේ වන අලි ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේ පසුගිය 11 වනදා කඳවුරු බැඳගෙන සිටි යුවලකට වන අලි ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (12) දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ යුවලට අනාරක්ෂිත ස්ථානයක කුඩාරම සැකසීමට සහාය පළ කළ බවට සඳහන් වයස අවුරුදු 24 සහ 32 වියේ පසුවන තරුණයින් දෙදෙනෙකුයි.

අදාළ ප්‍රහාරයෙන් තරුණිය ජීවිතක්ෂයට පත්වූ අතර තරුණයා තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

ශ්‍රී ලංකාවේ හෙදියන්ට සිංගප්පුරුවේ රැකියා අවස්ථා

ඉහල ආදායම් ලබාගත හැකි සිංගප්පූරුවේ හෙද ක්ෂේත්‍රයේ රැකියා ශ්‍රි ලාංකිකයින්ට විවෘත කර ගැනීමට හැකියාව ලැබී ඇති බවත්, කණ්ඩායම් වශයෙන් සිංගප්පූරුවේ රැකියා සඳහා යොමු කිරිම මේ වන විටත් ආරම්භ කර ඇති බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

ඒ අනුව සිංගප්පූරුවේ රැකියා සඳහා යන පළමු හෙද කණ්ඩායම වශයෙන් හෙද හෙදියන් 36 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ලබාදීම ඊයේ (12) දිනයේ දී සිදුකර තිබුණා.