දෙණිපිටිය ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

අකුරැස්ස වැලිගම මාර්ගයේ දෙණිපිටිය ප්‍රදේශයේ ඊයේ (15) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට නාඳුනන තුවක්කුකරුවෙකු වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ පිය පුතු දෙපළක් වන අතර ඒ අතරින් පියා මියගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදීම දීර්ඝ කෙරේ

එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ට පුර්ණ වශයෙන් විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය තවදුරටත් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව එම බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය 2023 සැප්තැම්බර් 23 වනදා දක්වා දීර්ඝ කර ඇති බවයි සඳහන් වන්නේ.

එතෙර රැකියාවල නිරත පුද්ගලයින් විසින් ඔවුන්ගේ ආදායම් නීත්‍යානුකූල ලෙස මෙරටට ප්‍රේෂණය කර ඇත්නම් ඔවුන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය සඳහා බලපත්‍ර ලබාදීම රජයේ යෝජනාවක් අනුව ආරම්භ කර තිබුණා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

946bf8dd058687b376d6c98ea113b652

නොරොච්වෝලේ 3 ඒකකය දින 100 කට වසා දමයි

දින 100ක කාලයක් සඳහා නොරොච්චෝලේ බලාගාරයේ එක් ඒකකයක් වසා තැබෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව එළඹෙන ජුනි මස 13 වනදා සිට දින 100 ක කාලයක් මෙලෙස නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ඒකකය වසා තැබෙන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

අදාළ කාලසීමාව තුළදී කිසිදු ආකාරයක විදුලි කප්පාදුවක් සිදු නොකරන බවත් මෙම කාල සීමාවේදී අනෙකුත් තාප විදුලි බලාගාර සමඟ කළමනාකරණය කරගනිමින් අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

4c1135cfb0333821baf271ea382d34dc

මෝඛා සුළි කුණාටුවෙන් පවුල් 428 ක් බලපෑමට ලක්වෙයි

මෝඛා සුළි කුණාටුවේ බලපෑමෙන් ලංකාව සම්පූර්ණයෙන් මිදී ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා.

පසුගිය දිනවල අයහපත් කාලගුණයත් සමඟ ඇතිවූ ආපදා තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක 7 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19 කට පීඩා සිදුව ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුදන්ත රණසිංහ සඳහන් කළේ.

එසේම අයහපත් කාලගුණයත් සමඟ පවුල් 428 ක් බලපෑමට ලක්ව ඇති අතර පුද්ගලයින් 1872 ක් පීඩාවට පත්ව ඇති බවත්, පුද්ගලයින් 7 ක් තුවාල ලබා එක් පුද්ගලයෙක් අතුරුදහන්වී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

නව සංඝාධිකරණ පනතක් බලාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නවා – අධිකරණ ඇමති

මහා සංඝරත්නයේ උපදෙස් පරිදි සංඝාධිකරණ පනත නව සංශෝධන සහිතව බලාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සඳහන් කළේ, එම පනත සංශෝධන සහිතව බලාත්මක කිරීම හරහා ශාසනික කටයුතු පිළිබඳව මතුවන ගැටලු විසඳා ගැනීමට හැකිවනු ඇති බවයි.

සංඝාධිකරණ නිර්මාණය කරගැනීම සඳහා පාර්ලිමේන්තුවට බලය දෙන බවට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරන ලද සම්පාදකයන් විසින් ප්‍රතිපාදන සාදා ඇති බවයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.

ආපදා සහන සැලසීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස බලධාරීන්ට උපදෙස්

දිවයිනේ ආපදා තත්ත්වයන් ඇතිවිය හැකි දිස්ත්‍රික්කවල විපතට පත් ජනතාව කඩිනමින් මුදාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සමග ඊයේ (14) පැවති හමුවකදී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එම උපදෙස් ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

දැනට බොහෝ ප්‍රදේශවල ඇතිවී තිබෙන ගංවතුර බැසයාම කඩිනම් කිරීමට ගංගාවල මෝය කට හාරා පුළුල් කිරීමටත්, විපතට පත්වන ජනතාව මුදාගැනීමට අවශ්‍ය බෝට්ටු සූදානමින් තබාගන්නා ලෙසත් එහිදී වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබෙනවා.

අන්තර් පළාත් බස් රථ නිශ්චිත නැවතුම්පොළවල පමණක් නැවැත්වීමේ නියමු ව්‍යාපෘතිය අද ආරම්භ කෙරේ

අන්තර් පළාත් බස් රථ නිශ්චිත නැවතුම්පොළවල පමණක් නැවැත්වීමේ නියමු ව්‍යාපෘතිය අද (15) සිට ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

කොළඹ සිට ගාල්ල දක්වා මාර්ගයේ එම වැඩසටහන පළමුවෙන් ක්‍රියාත්මක කරන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කළේ.

ඒ අනුව අද සිට අන්තර් පළාත් බස් රථ නැවැත්විය හැක්කේ කහපාට බස් රථයක් සහිත සංඥා පුවරුවක් ඇති ස්ථානවල පමණක් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

රාජ්‍ය සේවකයින්ට අද සිට යළිත් ඇඟිලි සළකුණු යන්ත්‍ර භාවිතා කිරීම අනිවාර්ය කෙරේ

රාජ්‍ය සේවකයින්ට සේවයට වාර්තා කිරීමේදී ඇඟිලි සළකුණු යන්ත්‍ර භාවිතා කිරීම අද (15) සිට යළි අනිවාර්ය කර තිබෙනවා.

ඒ අනුව සේවයට පැමිණීමේදී හා පිටව යාමේදී ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කළ යුතු බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කරන්නේ.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ පසුගිය වසරේ ජනවාරි 3 වනදා සිට එය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබුණා.

නිල්වලා ගඟ ආශ්‍රීත ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමක්

නිල්වලා ගඟ ආශ්‍රීත ප්‍රදේශයට වැසි අධිකව ලැබීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය,මාලිම්බඩ, තිහගොඩ, මාතර හා දෙවිනුවර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වල සැළකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින ලෙසත් අවශ්‍ය පියවර ගන්නා ලෙස අපදා කළමණාකරණ අංශවලින් ඉල්ලා සිටින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

d5414e541e1ec3c609c8cbdce517e3c8 35e93c41c449024a2f6c45a980e8ccaf

මෝඛා සුළි කුණාටුව ගැන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මධ්‍යම – නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “මෝඛා” සුළි කුණාටුව පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම සුළි කුණාටුව අද උදෑසන 5.30 වනවිට 18.7N සහ 91.5E ආසන්නයේ කේන්ද්‍ර ගතව පැවති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එම පද්ධතිය උතුරට බරව ඊසාන දෙසට ගමන් කරමින් අද දහවල් පමණ ගිනිකොණදිග බංග්ලාදේශය හ උතුරු මියන්මාර වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ තිබෙනවා.

ඉදිරි පැය 24 තුළ එම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුරු අක්ෂාංශ 10ත් – 23ත් අතර සහ නැගෙනහිර දේශාංශ 86 සහ 100ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 180 – 190 පමණ වන අතර විටින් විට පැ.කි.මී 210ක් පමණ විය හැකි බවයි සඳහන් වන්නේ.

මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 10ත් – 23ත් අතර සහ නැගෙනහිර දේශාංශ 86 සහ 100ත් අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම් දෙන බවත් දැනට මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදෙන පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ජනතාවට දැනුම් දෙන්නේ.

2f95b98f6e37d11c6fba54d5b7be38da 07736e31676627c87e05093dcf3174f4