තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරගන්න, මුඛ ආවරණ පළඳින්න – උපුල් රෝහණ

බිම් මට්ටමේ යම් වෛරස රෝගී තත්ත්වයන් මෙන්ම කොවිඩ් -19 යැයි සැක සිතිය හැකි රෝග තත්ත්වයක් විශාල වශයෙන් පැතිරෙමින් තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

පාසල් තුළ හා ආයතන තුළ වෛරස් වසංගත තත්ත්වයෙන් පැතිර යමින් තිබෙන බවයි අද (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති, උපුල් රෝහණ සඳහන් කළේ.

මහජනතාව මේ අවස්ථාවේදී වගකීමෙන් කටයුතු කළ බවත්, තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා මුඛ ආවරණ පැලඳීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසත් ඉල්ලා සිටින බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරන්නේ.

මේ වන විට කොවිඩ් ආසාදිත බවට තහවුරු කරන්නේ රෝහල් ගතවන රෝගීන් සහ මියයන රෝගීන්ගේ සංඛ්‍යා දත්ත මත පමණක් බවත්, බිම් මට්ටමේ කොවිඩ් -19 රෝගය යම් මට්ටමකට පැතිර යමින් ඇති බවට සැක සිතන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණය අස්සේ දේශපාලඥයින්ගේ ණය කපා හරින්න සමහරු උත්සාහ කරනවා – චරිත හේරත්

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන හරහා රාජ්‍ය බැංකුවලින් ණය ලබාගත් දේශපාලකයින්ගේ ණය කප්පාදු කිරීමට ඇතැමුන් උත්සාහ කරන බව චරිත හේරත් මන්ත්‍රීවරයා පවසනවා.

මෙරට ප්‍රධාන රජයේ බැංකුවල බොල් ණය බවට පත්ව ඇති ඇතැම් ණය ලබාගත් පිරිස් තවමත් තම ව්‍යාපාර කටයුතු සිදුකරමින් ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මාතලේ ප්‍රදේශයේ දේශපාලඥයෙක් හෝටලයක් සඳහා ලබාගත් ණය නොගෙවා සිටියද හෝටලය තවමත් පවත්වාගෙන යන බවද, නැගෙනහිර පළාතේ දේශපාලඥයෙක් තම ව්‍යාපාරවලට විශාල ණයක් ලබාගත්තද, ඔහු එම ණය නොගෙවා එම ව්‍යාපාරයෙන් ඉවත්ව වෙනත් ව්‍යාපාරයක් සිදුකරන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

එබැවින් ප්‍රධාන බැංකුවල මෙවැනි නොගෙවූ ණය තිබෙන බල සම්පන්න පුද්ගලයින්ගේ ණය වහාම අයකර ගැනීම සඳහා වැඩපිළිවෙළක් යෙදිය යුතු බව ආණ්ඩුවට අවධාරණය කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් ලෝක බැංකු නියෝජිතයින් සහ අමාත්‍ය කංචන විජේසේකර අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත වැඩපිළිවල සහ ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතු පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම සාකච්ඡාව සඳහා ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, භූතානය සහ බංගලාදේශය වෙනුවෙන් කටයුතු කරන විධායක අධ්‍යක්ෂවරයා සහභාගී වී ඇති බවයි සඳහන් වන්නේ.

ඉදිරි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් සහ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මූල්‍ය සහය පිළිබඳවද සාකච්ඡා කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.

ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණ තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව පලාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා අද (17) උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම ප්‍රදේශවල ඇතැම් ස්ථානයන්හි උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවට අපේක්ෂා කෙරෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඒ අනුව ඊට වැඩි වේලාවක් නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම්වල නියුතුවීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැකි බවත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ට විභාග ප්‍රවේශපත්‍ර ගැන දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2022(2023) විභාගය මැයි 29 වන දින සිට ජුනි මස 08 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව විභාග ප්‍රවේශපත්‍ර නොලද පාසල් විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශපත්‍ර පාසල් ප්‍රධානීන් වෙත ද පෞද්ගලික විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශපත්‍ර අදාළ අයදුම්කරුවන් වෙත ද බාගත කිරීමේ අවස්ථාවද මෙම මස 18 වනදා සිට ලබාදෙන බවයි සඳහන් වන්නේ.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://www.doenets.lk වෙත පිවිසීමෙන් ඒ සඳහා අවස්ථාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

රට පුරා ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ

ඩෙංගු මර්දන කාර්ය සාධක බලකාය සමඟ ඒකාබද්ධව ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව මේ වන විට ඩෙංගු ව්‍යාප්තිය මර්දනය සඳහා දීප ව්‍යාප්තව පුළුල් වැඩසටහනක් ආරම්භ කර තිබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

පසුගිය වසරේ මුල් කාර්තුව හා 2023 වසරේ මේ දක්වා කාලය සංසන්දනය කරන විට මේ වන විටත් ඩෙංගු රෝගීන් 2000 ක පමණ වැඩි වීමක් වාර්තා වන බැවින් එම තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න සඳහන් කර තිබෙනවා.

වෛද්‍ය පීඨ සිසු විරෝධතාවයක් විසිරුවා හැරීම​ට පොලීසියෙන් ජල ප්‍රහාර

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසකගේ විරෝධතාවයක් විසුරුවා හැරීමට කොළඹදී අද (16) පස්වරුවේ පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

රජයේ වෛද්‍ය පීඨවල ඇති ගැටලුවලට විසඳුම් ඉල්ලීම සහ නව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමේ රජයේ උත්සාහයට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ.

ජාතික පොලිස් කොමිසමට නව සභාපතිවරයෙක් පත් කෙරේ

ජාතික පොලිස් කොමිසමේ නව සභාපති ධුරය සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක පත්කර තිබෙනවා.

එහි සෙසු සාමාජිකයන්ද පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

WhatsApp වෙත Chat ලොක් කිරී​මේ විශේෂාංගයක් හඳුන්වා දෙයි

WhatsApp වෙත නව විශේෂාංගයක් හඳුන්වාදීමට Meta සමාගම කටයුතු කර තිබෙනවා.

ඒ අනුව පරිශීලකයින්ට විශේෂිත Chat ලොක් කිරීමට ඉඩ සලසා ඇති බවයි Meta සමාගම නිවේදනය කරන්නේ.

එහි අදාළ විශේෂිත Chat අගුළු දැමූ පසු එය වෙනම ගබඩා කරන අතර එහි නම සහ පණිවිඩයේ අන්තර්ගතය ඒ තුළ සඟවන බවයි Meta සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ab1b0e56a0f06a49609d1c11c38877bc

මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක තවදුරටත් සුළු ගංවතුර තත්ත්වයක්

මාතර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල පහත් බිම්වල තවදුරටත් සුළු ගංවතුර තත්ත්වයක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ කඹුරුපිටිය, අකුරැස්ස, අතුරලිය, තිහගොඩ, කද්දූව ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක ජලය රැදී පවතින බවයි.

සපත්තු පාලම්, බෝක්කු වැනි ස්ථානවල මාර්ග හරහා ජලය ගලා බසින්නේ නම් පරික්ෂාකාරීව මාර්ගය මැදින් ගමන් කිරීමට කටයුතු කරන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.