2024 වසරේ සිට සාමාන්‍ය පෙළ ස​හ උසස් පෙළ විභාග එම වසරේම පැවැත්වීමට අවධානය

2024 වසරේ සිට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග එම වසර තුළ පැවැත්වීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

ඒ අනුව නිවාඩු කාලය අඩුකර අධ්‍යයන කාලය වැඩි කරමින් විෂය නිර්දේශ සම්පූර්ණ කිරීමට අවස්ථාව ලබාදෙන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උත්තර පත්‍ර පරික්ෂාව සඳහා සම්බන්ධවීම හරහා මේ වන විට එම කටයුතු ආරම්භ කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ලංකා බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව ජනපතිට

ලංකා බැංකුවේ 2022 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව, ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා විසින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී තිබෙනවා.

මහජනතාවට සහ ගනුදෙණුකරුවන්ට දැන ගැනීම පිණිස ඉදිරියේ දී මෙම වාර්තාව සිංහල හා දමිළ බසින් නිකුත් කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරි රසල් ෆොන්සේකා හා ප්‍රධාන මූල්‍ය නිලධාරි රුවන් කුමාර මෙම අවස්ථාව සඳහා එක්වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

e1048a2d0db9e8a911a950815807191e

ජුනි මාසයේ සිට දින තුනක් තු​ළ ගමන් බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක්

ජුනි මාසයේ සිට ගමන් බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදුකරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ආගමන විගමන පාලක ජනරාල්, හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ නව වැඩපිළිවෙල අනුව අයදුම්කරුවන් කොළඹට ගෙන්වීමේ අවශ්‍යතාවයක්ද නොමැති බවයි.

දින තුනක් ඇතුළත ගමන් බලපත්‍රය රජයේ තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිවෙස් වෙත යැවීමේ මූලික වැඩ කටයුතු සුදානම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

විදුලි බිල 3% කින් නෙවෙයි 27% කින් අඩු කළ හැකියි – ජනක රත්නායක

ජුලි මස පළමු වනදා සිට විදුලි ගාස්තු 3% කින් පහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

කෙසේ නමුත් පවතින තත්ත්වය මත සැබෑ ලෙස විදුලි ගාස්තු 27% කින් අඩු කිරීමේ හැකියාවක් ඇති බවයි අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

බලධාරීන් වැරදි දත්ත මත පිහිටා ජනතාව මුලාකරමින් සිටින බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක වැඩිදුරටත් සඳහන් කළා.

ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අද (18) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 87 වන වියේ පසුවුණා.

බටහිර තනු අලලා නිර්මාණය වූ ගී රැසක් ගයමින් ජන හදවත් තුළ මතකයේ රැ‍‍ඳෙන ගායන ශිල්පියෙකු වීමට ක්‍රිස්ටෝපර් පෝල් සමත් වුණා.

හා මල් පිපෙන්නේ, වතුර නාලා තෙත කොණ්ඩේ කඩා, රුවන් තොරන් තනා, ඇල දොළ ගංඟා යාවි ගලා, රාමා සීතා ඔබයි මමයි, රෝස මලක් දුටුවම, පෙම් ලෝකේ පුරා වැනි අතිශය ජනප්‍රිය ගීත රැසකට ක්‍රිස්ටෝපර් පෝල් සිය හඬ දායකත්වය ලබාදී තිබෙනවා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා ජනපති අතර සාකච්ඡාවක් අද

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයින් අද (18) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිත බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පවසනවා.

ඒ අනුව අද පස්වරු 3.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම හමුව පැවැත්වීමට නියමිත බවයි එම සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක සඳහන් කළේ.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

ධනුෂ්ක ගුණතිලකට එරෙහි චෝදනා කිහිපයක් පොලීසිය ඉවත් කර ගනී

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර තිබූ චෝදනා කිහිපයක් ඕස්ට්‍රේලියානු පොලීසිය ඉවත් කර ගැනීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව නඩුව අද (18) කැඳවූ අවස්ථාවේදී සිඩ්නි අධිකරණය සඳහන් කළේ, ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව චෝදනා හතරෙන් තුනක් පොලීසිය විසින් ඉවත් කරගෙන ඇති බවයි.

2022 වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී එරට කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම නඩුව ජූලි 13 වනදා නැවත කැඳවීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඡන්ද හිමි නාමලේඛනයේ Online ලියාපදිංචි වීමට ජුනි 15 දක්වා අවස්ථාව

ඡන්ද හිමි නාමලේඛනයේ මාර්ගගතව (online) ලියාපදිංචි වීම සඳහා ජුනි 15 වනදා දක්වා අවස්ථාව ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව මහජනතාවට https://eservices.elections.gov.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් මාර්ගගතව ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කර ගැනීමට ඉල්ලුම් කළ හැකි බවයි එම කොමිසම සඳහන් කරන්නේ.

මෙම මාර්ගගත ක්‍රමය හරහා මුල්වරට ලියාපදිංචි වීම සඳහා ඉල්ලුම් කිරීම, 2023-02-01 වන දින වනවිට පදිංචිය වෙනස් වූ පුද්ගලයන්ගේ පදිංචි ස්ථානය මාරු කිරීම සඳහා ඉල්ලුම් කිරීම මෙන්ම නම, ජාතික හැඳුනුම්පත් අංකය, උපන්දිනය ඇතුළු තොරතුරුවල දෝෂ පවතින්නේ නම් ඒවා නිවැරදි කිරීමට ඉල්ලුම් කිරීමට හැකියාව පවතින බවයි සඳහන් වන්නේ.

එසේම වයස අවුරුදු 18 සම්පූර්ණ වන යොවුන් පුරවැසියන්ටද ඉදිරි පරිපූරක නාමලේඛන සඳහා ලියාපදිංචි වීමට “යොවුන් පුරවැසියන් ලියාපදිංචි කිරීම” යන යොමුව ඔස්සේ ඉල්ලුම් කළ හැකි බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ප්‍රවීණ ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 73 වන වියේ පසු වුනා.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද (17) සවස මාලිගාවත්ත මුස්ලිම් සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

චීන ධීවර යාත්‍රාවක් ඉන්දියන් සාගරයේදී පෙරළී 39 ක් අතුරුදන් වෙයි

චීන ධීවර යාත්‍රාවක් මධ්‍යම ඉන්දියන් සාගරයේදී පෙරළී ගොස් තිබෙනවා.

ඒ අනුව අදාළ අනතුරෙන් චීන ජාතිකයින් 17 දෙනෙකු, ඉන්දුනීසියානුවන් 17 දෙනෙකු සහ පිලිපීන නාවිකයින් පස් දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි සඳහන් වන්නේ.

කලාපය පුරා සිටින සෝදිසි සහ ගලවා ගැනීමේ කණ්ඩායම් එම ස්ථානයට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.