අද රාත්‍රියේ ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු සමඟ වැසි ගැන අනතුරු ඇඟවීමක්

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට ප්‍රබල අකුණු සමඟ වැසි අද (08) රාත්‍රි කාලයේ ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

654b82e0c397e

ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට ඒකාබද්ධ යෝජනාවක් හෙට පාර්ලිමේන්තුවට

ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට ඒකාබද්ධ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී හෙට (09) විවාදයට ගෙන සම්මත කර ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම යෝජනාව හෙට (09) පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

කොළඹ වරායේ බටහිර පර්යන්තයට ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 553 ක්

කොළඹ වරායේ බටහිර පර්යන්තයට ඇමෙරිකාවේ US International Development Finance Corporation හෙවත් DFC ය ඩොලර් මිලියන 553 ක මුදලක් ලබා දීමට එකඟ වී තිබෙනවා.

ඒ අනුව කොළඹ වරායේ ගැඹුරු ජල බහාලුම් පර්යන්තයක් වන බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සහ ඉදිකිරීම සඳහා DFC හි මූල්‍යමය දායකත්වය ලබාදෙන බවයි සඳහන් වන්නේ.

එය පුළුල් ඉන්දු පැසිෆික් කලාපයේ නාවික ධාරිතාව පුළුල් කිරීමට, ශ්‍රී ලාංකිකයින්ට රැකියා උත්පාදනය කිරීමට සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය කිරීමට හේතුවන බවයි X පණිවිඩයක් නිකුත් කරමින් අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරන්නේ.

654b1e7f07052

තැපැල් සේවකයින් දෙදින වැඩ වර්ජනය ආරම්භ කරයි

තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් විකිණීමට එරෙහිව දෙදින සංකේත වැඩ වර්ජනයක් තැපැල් සේවකයන් විසින් ආරම්භ කර තිබෙනවා.

කෙසේ නමුත් වහාම ක්‍රියාත්මක වන පරිදි නොවැම්බර් 8, 9, 10 තෙදින තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒකාබද්ධ තැපැල් පෙරමුණ පෙන්වා දෙන්නේ, නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විකිණීමට ගෙන ඇති සැලසුම් ආණ්ඩුව අහෝසි කරගත යුතු බවයි.

බස් රථ අනතුරකින් 13 ක් රෝහලට

මාපලගම සිට කොළඹ බලා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් නාගොඩ ගල්අස්ස ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබෙනවා.

අනතුරෙන් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එකම දිසාවට ධාවනය වූ ත්‍රිරෝද රථයක් එක්වරම දකුණු දෙසට හැරවීමට උත්සාහ දැරීමේ දී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

මරදානේ සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්

පවතින අධික වර්ෂාව සමඟ මරදාන දුම්රිය ස්ථානයේ සංඥා දෝෂයක් මතුවීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව වාර්තා වනවා.

මේ අතර පවතින අධික වර්ෂාව සමඟ මරදාන හා බේස්ලයින් පාර අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටී තිබෙනවා.

මේ හේතුවෙන් අවිස්සාවේල්ල මාර්ගයේ අද ධාවනය වන සියලුම දුම්රියන් ප්‍රමාද විය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

නායයෑමක් නිසා කොළඹ බදුල්ල මාර්ගය අවහිර වෙයි

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශයේ 179 කිලෝමීටර් කණුව ස්ථානයේ නායයෑමක් සිදුව තිබෙනවා.

ඒ අනුව පොලීසිය සඳහන් කළේ බදුල්ල කොළඹ මාර්ගයේ බෙරගල සහ හල්දුම්මුල්ල අතර මෙලෙස නායගොස් තිබීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බවයි.

මෙම ප්‍රදේශයේදී ඊයේ (06) දිනයේදී නායයෑමක් සිදුව තිබූ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

තැපැල් ගොඩනැඟිල්ල හෝටලයක් නොකරන ලෙස ඉල්ලා සංචාරකයින්ගෙන් විරෝධයක්

ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සංචාරක හෝටලයක් බවට පරිවර්තනය කිරීමේ තීරණයට විදේශීය සංචාරකයන් පිරිසක් විරෝධය දක්වා තිබෙනවා.

තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඉදිරියේ විරෝධතා පුවරු ඔසවාගෙන ඔවුන් පවසන්නේ නුවරඑළියේ සංචාරකයන් වෙනුවෙන් ඕනෑ තරම් හෝටල් පහසුකම් පවතින බවයි.

ඓතිහාසික උරුමයක් සහිත ‘රාජකීය තැපැල් ගොඩනැගිලි’ ඇත්තේ එකක් පමණක් බවත්, අනාගතය වෙනුවෙන් මෙම උරුමය ආරක්ෂා කරගත යුතු බවයි එම සංචාරයකයින් පිරිස පෙන්වා දෙන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා නුවරඑළියේ සිදුකළ සංචාරයකදී මෙම තැපැල් කාර්යාල පරිශ්‍රය සුපිරි හෝටලයක් බවට පරිවර්තනය කළයුතු බව අවධාරණය කළ අතර එහිදී නිලධාරීන් සමඟ උණුසුම් තත්ත්වයක්ද ඇති වී තිබුණා.

654a1dbfb4a5b 654a1dbfa1d4d

වගා හානි වූ ගොවීන්ට රු. 17,000 ක ඩීසල් සහනයක්

පසුගිය යල කන්නයේ දී නියඟය නිසා වගා හානි සිදු වූ අක්කර 65,000 අයත් ගොවීන්ට මාස් කන්නයේ වගා කටයුතු සිදු කිරීමට ලබාදෙන සහනයක් වශයෙන් රුපියල් 17,000ක ඩීසල් නොමිලේ දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පොහොර මිලදී ගැනීමට ලබාදෙන රුපියල් 15,000ක සහන මුදලට හා හෙක්ටෙයාර් එකකට රුපියල් ලක්ෂයක් බැගින් දෙන වන්දි මුදලට අමතරව මෙය ලබාදෙන බවයි සඳහන් වන්නේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් වගා හානි සිදුවූ ගොවින්ට ලබාදිය යුතු සහන පිළිබඳ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ක්‍රීඩා ඇමති පත්ක​ළ ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව තහනම් නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ අතුරු කමිටුව සහ එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ අතුරු කමිටුව සහ එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම දින 14 කට වළක්වාලමින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බවද සඳහන්.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඊයේ (06) දිනයේ අර්ජුන රණතුංගගේ සභාපතීත්වයෙන් යුත් අතුරු කමිටුවක් පත් කිරිමට තීරණය කර තිබුණා.