පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ක්‍රිකට් පරිපාලනයට සාක්ෂි නොමැති චෝදනා එල්ල කිරීම සාධාරණ නැහැ – සාගල

පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ දේශපාලන වාසි තකා ක්‍රිකට් පරිපාලනයට සාක්ෂි නොමැති චෝදනා එල්ල කිරීම සාධාරණ නොවන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසනවා.

උත්සවයක් අමතමින් ඔහු සඳහන් කළේ, ක්‍රිකට් සම්බන්ධයෙන් නොයෙක් චෝදනා එල්ලවන ආකාරයක් දක්නට ලැබෙන බවයි.

කිසිවෙකු වේදිකාවේදී හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ දේශපාලන වාසි තකා සාධාරණ හෝ සාක්ෂි නොමැති මුළුමනින්ම පක්ෂග්‍රාහී චෝදනා ඉදිරිපත් කළ විට, එය කම්පනයක් ඇති කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑම සඳහා පැවති කුමන්ත්‍රණය දින දෙකක් තුළ අනාවරණය කරනවා – ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ අනාවරණයක් සිදු කරන බව ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑම සඳහා එක්තරා කණ්ඩායමකගේ කුමන්ත්‍රණයක් පැවති බවයි ඔහු සඳහන් කරන්නේ.

කුමන්ත්‍රණය පැවති ආකාරය, ක්‍රිකට් පසුබෑමට ලක්කිරීමට කටයුතු කළ පුද්ගලයින් සහ කඩාකප්පල් කිරීමට කටයුතු කළ පුද්ගලයින් දින දෙකක් තුළ අනාවරණය කරන බවද ඔහු සඳහන් කළා.

අවසන් කාලයේ ක්‍රීඩකයින්ට මානසික පීඩනයක්ද පැවති බවත් පරාජයේ වගකීම තමන් භාරගන්නා බවද තේරීම් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

තැපැල් සේවකයින්ගේ වර්ජනය අවසන් වෙයි

තැපැල් සේවකයින් විසින් ආරම්භ කළ පැය 48 ක සංකේත වැඩ වර්ජනය අවසන් කර ඇති බව තැපැල් වෘත්තීය සමිති පවසනවා.

ඒ අනුව තැපැල් සේවකයින් අද දිනයේ සේවයට වාර්තා කරන අතර එකතු වී ඇති තැපැල් භාණ්ඩ අද දිනය තුළ බෙදාහැරීමට කටයුතු කරන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සහ මහනුවර තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සංචාරක හෝටල් ආරම්භ කිරීමේ මුවාවෙන් විකුණා දැමීමට විරෝධය පළ කරමින් ඊයේ (08) සිට තැපැල් සේවකයින් මෙම වැඩ වර්ජනය ආරම්භ කළා.

මත්පෙති තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට තැත් කළ මත්පෙති තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

කල්පිටිය ඉරමතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අද (09) සවස් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම තොගය අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මත්පෙති 570,000 ක තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමග අදාළ සැකකරුවන් දෙදෙනා සිය භාරයට ගත් බවත් සැකකරුවන් වයස 33 ක් සහ 39 ක් වන නොරොච්චෝල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.

ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත්විය යුතු බවට ඒකාබද්ධ යෝජනාව ඒකමතිකව සම්මත වෙයි

ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අද (08) පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත වුණා.

ඒ අනුව විපක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරී‍මෙන් අනතුරුව විවාදයට ගැනීමට කටයුතු කළා.

අනතුරුව සභාවේ සියලු දෙනා එකඟතාව පළ කිරීමෙන් අනතුරුව යෝජනාව ඒකමතිකව සම්මතවූ බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

වෛද්‍ය පීඨ සිසුන් 12ක් අත්අඩංගුවට

සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසු විරෝධතාව අතරතුරදී සිසුන් 12 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී විරෝධය විසුරුවා හැරීමට පොලීසිය මරදාන ප්‍රදේශයේදී ජල ප්‍රහාරයක් ද එල්ල කර තිබුණා.

සුජිත් යටවර බණ්ඩාරගේ දේහය දිවයිනට

ඊශ්‍රායල – හමාස් ගැටුමෙන් මිය ගිය සුජිත් යටවර බණ්ඩාරගේ දේහය අද (09) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙනවා.

දේහය භාරගැනීම සඳහා සුජිත් යටවර බණ්ඩාර මහතාගේ බිරිඳ, දරුවන්, ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල මහ කොමසාරිස් දිනේෂ් ප්‍රියන්ත, හිටපු අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ඇතුළු  පිරිසක් පැමිණ තිබූ බවයි සඳහන් වන්නේ.

සුජිත් යටවර බණ්ඩාරගේ අවසන් කටයුතු එළැඹෙන සෙනසුරාදා (11) වෙන්නප්පුව, තුලාවෙල, මඩවලපිටිය පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතයි.

ක්‍රිකට් ආයතනයට පිවිසෙන මාර්ගය වසා දමයි

කොළඹ 07 විද්‍යා පාරෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිවිසුම් මාර්ගය වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට ඒකාබද්ධ යෝජනාවද මේ වන විට පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙමින් පවතිනවා.

ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත්විය යුතු බවට ඒකාබද්ධ යෝජනාව ඉදිරිපත් කරයි

ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට ඒකාබද්ධ යෝජනාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුව ඉදිරිපත් කළා.

ඒ අනුව විපක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනාව ආණ්ඩුව විසින් ස්තිර කිරීමද විශේෂත්වයක් වන අතර මේ වන විට විවාදය ආරම්භ වී තිබෙනවා.

ඊට අදාළ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

පාර්ලිමේන්තුවේ ගැටුම ගැන අවසන් තීරණය අද

පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගියදා ඇති වූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් අද (09) දිනයේ අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, සමගි ජන බලවේගයේ සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන මන්ත්‍රීවරුන් අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගියදා ඇති වූ සිද්ධිය විමර්ශනය කිරීමට කමිටුවක් පත්කර තිබුණා.

එම කමිටුව අවස්ථා දෙකකදී රැස්වූ අතර අද දිනයේ රැස්වීමෙන් අනතුරුව ඔවුන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.