මේක තමයි අපිට ඉන්න හොඳම කුසලතා පිරි කණ්ඩායම – මහේල

දැනට සිටින ක්‍රීඩකයින්ගෙන් හොඳම කුසලතා පිරි කණ්ඩායම වත්මන් කණ්ඩායම බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන පවසනවා.

නමුත් ජයග්‍රහණය කිරීමට තිබූ තරග කිහිපයක් ක්‍රීඩකයින්ගේ කුසලතාවල ගැටලු හේතුවෙන් පරාජයට පත්වූ බවයි විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

එසේම තරග පරාජය වීම සම්බන්ධයෙන් ඉන්දියාවෙන් හෝ කිසිම ඉහළ තැනකින් බලපෑමක් එල්ල නොවූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ජනක රත්නායකට මරණ තර්ජන කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකට මරණීය තර්ජන සහ කප්පම් ගැනීමට උත්සාහ කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසීය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 42 හැවරිදි සැකකරුවෙක් වන අතර සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දීපාවලී උත්සවය අදයි

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන්, භක්තියෙන් හා උත්සවාකාරයෙන් සමරන දීපාවලී දිනය අදට යෙදී තිබෙනවා.

නව සඳ උදා වීමට සමගාමී ව යෙදෙන දීපවාලී උත්සවය හරහා අයහපත පරදා යහපතත් අදුර පරදා ආලෝකය උදා වීමත් සංකේතවත් කෙරෙනවා.

මෙරට හින්දු ජනතාවද මෙවර දීපවාලී උත්සවය සැමරීම සඳහා කටයුතු කරනු ලබන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

දීපවාලි වෙනුවෙන් විශේෂ බස් සේවා

හෙටට (12) යෙදී ඇති දීපවාලි උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ බස් සේවා සේවා ක්‍රියාත්මක වන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ සිට නුවරඑළිය ඇතුළු ප්‍රධාන නගර වෙත එම විශේෂ බස් සේවා ක්‍රියාත්මක බවයි එහි සභාපති ලලිත් ද අල්විස් පවසන්නේ.

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ නිකුත් කරනවා – අධ්‍යාපන ඇමති

ඉදිරි සති දෙක තුළ 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

2023 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මැයි මාසයේදී පවත්වන බවත්, ඒ අනුව විභාග කාල සටහන සාමාන්‍ය තත්ත්වයට පත්වීම තවත් වසරකින් කල් යනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඩෙංගු අධි අවදානම් කලාප ගණන ඉහළට

ඩෙංගු අධි අවදානම් කලාප ගණන 44 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර ඩෙංගු වැළඳීමෙන් මේ වනවිට පුද්ගලයින් 44 දෙනෙකු මිය ගොස් ඇති බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න සඳහන් කළේ.

ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳඟා ලබන සඳුදා සිට විශේෂ ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති අත්අඩංගුවට

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ ඇතුළු තිදෙනෙක් මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරියේ ව්‍යාපෘතියක් සඳහා රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේ දී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

දුරකථ​න සිම්පත් නැවත ලියාපදිංචි කිරීමේ වැඩසටහනක්

ජංගම දුරකථන සිම්පත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත් නැවත ලියාපදිංචි කිරීමේ ජංගම සේවාවක් දීප ව්‍යාප්තව සිදු කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

ජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගකයින් තමන් භාවිතා කරන සිම්පත් තමන්ගේ නමින් ලියාපදිංචි වී තිබීම අනිවාර්ය වන අතර තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ නිකුත්වී ඇති සිම්පත් පිළිබඳව තමන් දැනුවත්ව සිටිය යුතු බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

ඒ අනුව යටතේ සිම්පත් නැවත ලියාපදිංචි කිරීමේ වැඩසටහනේ පළමු අදියර සඳුදා (නොවැ 13) සිට සෙනසුරාදා (නොවැ 18) දක්වා පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වනවා.

තමන්ගේ හැඳුනුම්පත යටතේ තමන් නොදන්නා වෙනත් සිම්පත් ලියාපදිංචි වී ඇත්නම් එවා වහාම අවලංගු කිරීමට කටයුතු කළ යුතු බවත් #132# අංකය ඇමතීමෙන් තොරතුරු තහවුරුකරගත හැකි බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

සබරගමු සරසවි සිසුන්ට ඇප

ඊයේ (09) මරදානේ පැවති විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් සබරගමු සරසවියේ සිසුන් පිරිස ඇප මත නිදහස් කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අ‍නතුරුව මෙලෙස ඇපමත මුදාහැර ඇති බවයි සඳහන් වන්නේ.

දෙමළ පාසල්වලට සඳුදා නිවාඩු ලබාදෙයි

දීපවාලි දිනය සැමරීම වෙනුවෙන් රට පුරා ඇති දෙමළ පාසල්වලට නොවැම්බර් මස 13 වන සඳුදා දින නිවාඩු ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව එම නිවාඩුව වෙනුවට 18 වන සෙනසුරාදා දින පාසල් පැවැත්විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.