දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය අද යළි ගොඩ ගැනේ

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය අද (25) දිනයේ යළි ගොඩ ගැනීමට නියමිතව තිබෙනවා.

මරණය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව දේහය ගොඩ ගැනීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ඒ අනුව දේහය අද දිනයේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ ගොඩ ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව සඳහන් කළා.

තැපෑලෙන් පැමිණි කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 3 ක් සොයා ගැනේ

ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ නිලධාරීන් විසින් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

තැපැල් හුවමාරුව හරහා එවන ලද පාර්සල් පරීක්ෂා කිරීම්වලදී ඒ තුළ තිබී “කුෂ්” නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3.475 ක් මෙලෙස සොයාගෙන ඇති බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ.

එහි මුළු වටිනාකම රුපියල් මිලියන 34.75 වන අතර පසුගිය කාලය තුළදී අමෙරිකා එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව යන රටවල්වලින් තැපැල් මගින් බොරලැස්ගමුව, වැල්ලවත්ත, මිනුවන්ගොඩ, වැලිසර, නුවරඑළිය සහ තලංගම යන ප්‍රදේශවල ලිපිනයන් වෙත පාර්සල් පැමිණ තිබූ බවයි සඳහන් වන්නේ.

කෙසේ නමුත් එම පාර්සල් ලබා ගැනීමට ඒවායේ අයිතිකරුවන් ඉදිරිපත් නොවීම හේතුවෙන් පසුගිය 16 වනදා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සහ තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියේ දී ඒවා රේගු නිලධාරීන් විසින් පරික්ෂා කර තිබෙනවා.

වැඩිදුර විමර්ශන සඳහා මෙම මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී ඇති බවයි සඳහන් වන්නේ.

ජුලි 15 සිට පාසල් බෑග් සහ සපත්තු මිල පහළට

ජුලි මස 15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල අඩු කිරීමට නිෂ්පාදකයින් එකඟතාවය පළකර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව ඩොලරය අවප්‍රමාණය වීමට සාපේක්ෂව අමුද්‍රව්‍ය මිල පහළ යෑමේ වාසිය පාරිභෝගිකයින්ට ලබාදීමේ අරමුණින් 10% කින් එම මිල සංශෝධනය සිදුකිරීමට ඔවුන් එකඟතාවය පළකර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල රුපියල් 350ත් 450ත් අතර මිලකින් පහළ යනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ගුවන් ගමන් ප්‍රමාදයක් නිසා කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමට සිටි 48 කට යාමට නොහැකි වෙයි

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත් වී ඊයේ (23) දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත් යාමට සිටි 48 දෙනෙකුට විදේශගත වීමේ අවස්ථාව අහිමි වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

ගුවන් යානයේ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් ගුවන් යානයට ඊයේ (23) රාත්‍රී 8.00 ට නියමිත පරිදි පිටත්ව යාමට නොහැකි බවට ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබුණා.

ඒ අනුව කොරියාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දැනුම්දීම අනුව එම පිරිස සඳහා නැවතත් ගුවන් ගමන් වෙන් කිරීමට සිදුවන බවයි මෙරට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා සඳහන් කළේ.

මෙලෙස ගුවන් ගමන ප්‍රමාදවීම තුළ එම පිරිසගේ රැකියා අවධානමකට පත්විය හැකි බවත්, කෙසේ නමුත් අදාළ අංශ සමඟ සාකච්ඡා කර ඔවුන්ට නව දිනයන් ලබා ගැනීමට කටයුතු කරන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

හබරාදූවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

හබරාදූව – පොල්දූව පන්සල ආසන්නයේ දී සිදුවූ වෙඩි තැබීමකින් 38 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලීසිය පවසනවා.

අදාළ වෙඩි තැබීමෙන් ඔහුගේ බිරිඳ ද තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා.

රත්‍රං සමඟ අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයාට මිලියන 7.5ක දඩයක් නියමකර මුදාහැරේ

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්‍රං සහ ස්මාට් දුරකථන සමග රේගු භාරයට ගෙන සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් හට රුපියල් මිලියන 7.5 ක දඩයක් නියම කර මුදා හැර තිබෙනවා.

ඒ අනුව ඔහු සන්තකයේ තිබූ රත්‍රං තොගය සහ ජංගම දුරකථන තොගය රාජසන්තක කිරීමට නියෝග කළ බවයි රේගු මාධ්‍ය ඒකකය සඳහන් ක‍ළේ.

අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා විසින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එනු ලැබූ රත්‍රං තොගයේ වටිනාකම රුපියල් මිලියන 74 ක් බවත් ජංගම දුරකථනවල වටිනාකම රුපියල් මිලියන 4.2 ක් බවයි රේගුව සඳහන් කළේ.

ඩුබායි රාජ්‍යයේ සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඊයේ (23) පෙරවරුවේ මෙරටට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් අදාල මන්ත්‍රීවරයා සිය භාරයට ගෙන තිබුණා.

දිවයින පුරා හදිසි මෙහෙයුම් සිදු කරනවා – පොලීසිය

රට තුළ නීතිය සහ සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවයින පුරා හදිසි මෙහෙයුම් සිදුකෙරෙන බව පොලීසිය පවසනවා.

දැනට දින කිහිපයකට පෙර දිවයිනම ආවරණය වන පරිදි විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

එම මෙහෙයුම දින 03ක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති අතර මෙම මෙහෙයුම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් 23,168 දෙනෙකු සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 531 දෙනෙකු සහභාගි වී ඇති බවයි සඳහන් වන්නේ.

මෙහිදී මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් 622 ක්, වරෙන්තුකරුවන් 1,662ක්, සැකපිට පුද්ගලයින් 1,516ක්, බීමත් රියදුරන් 732ක්, විවිධ වැරදි සම්බන්ධයෙන් 1,157ක් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සැකකරුවන් සංඛ්‍යාව 5,689 ක් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

නව විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම ජුනි 01 වනදා ආරම්භ වෙයි

නව විදුලි ගාස්තු ජුනි මස 30 වනදා ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජිත ගාස්තු සංශෝධනය පිළිබඳව මහජනතාවගේ දැනගැනීම පිණිස ජුනි මස 01 වනදා ප්‍රසිද්ධ කිරීමට පියවර ගන්නා බවයි එහි සභාපති ජනක රත්නායක සඳහන් කළේ.

ඒ අනුව ජුනි 01 වනදා සිට ජුනි 20 වනදා දක්වා මහජනතාවට සිය අදහස් හා යෝජනා ලිඛිතව ඉදිරිපත් කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අළුත් කැසිනෝ බලපත්‍ර 7ක් ලබාදෙන්න යනවා – පාඨලී චම්පික

මෙරටට නව කැසිනෝ බලපත්‍ර 7 ක් ලබාදීමට සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

ඒ අනුව මේ වනවිට පවත්වාගෙන යන කැසිනෝ 4 ට අමතරව මෙම නව බලපත්‍ර ලබාදීමට සූදානම් වන බවයි අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පවතින කැසිනෝ 4 නියාමනය සඳහා මෙරට තුළ නිසි ක්‍රමවේදයක් නොමැති බවත් ආදායම් එකතු කිරීමට හෝ නිසි ක්‍රමවේදයක් නොමැතිව නව බලපත්‍ර ලබාදීම ප්‍රයෝජනයක් නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් සඳහන් කළේ.

එක්ස්ප්‍රස් පර්ල් නඩුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියට අදාළව ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් එම මෝසම ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ.

මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් සිදු වූ පරිසර හානිය පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙසත් එම පෙත්සම පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියම කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එම මෝසම හෙට (24) දින සලකා බැලීම සඳහා කැඳවීමට නියමිතයි.