එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ උප සභාපති ධුරය ලංකාවට

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකාවට උප සභාපති ධුරය හිමිව තිබෙනවා.

රටවල් 193ක් විසින් ඒකමතිකව ශ්‍රී ලංකාව උප සභාපති ධූරය සඳහා තෝරා පත්කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ඒ අනුව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත තානාපති මොහාන් පීරිස් විසින් ආසියානු පැසිෆික් කාලාපය වෙනුවෙන් 2023 සැප්තැම්බර් මාසයේ සිට 2024 සැප්තැම්බර් මාසය දක්වා කාලය සඳහා අදාළ තනතුර භාර ගැනීමට නියමිතව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය ලබන සැප්තැම්බර් මස 12 වන දින ආරම්භ වන අතර එය සැප්තැම්බර් 25 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

උඩරට මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්

දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සෙංකඩගල මැණිකේ දුම්රිය කඩිගමුව සහ රඹුක්කන දුම්රිය ස්ථානය අතර එලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි සඳහන් වන්නේ.

අද දිනයේ ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රමාණවත් ඉන්ධන තොග ලැබේවි – කංචන

අද (04) දිනය වන විට සියලුම ඉන්ධන පිරවුම්හල් සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග ලැබෙනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඛනිජ තෙල් සංස්ථාවට සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අයත් බවුසර් මගින් ඉන්ධන බෙදාහැරීම මේ වනවිට අඛණ්ඩව සිදුකරන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

කෙසේ නමුත් ඉන්ධන පිරවුම්හල් 121ක් මැයි මස 27සිට 31 දක්වා කාලය තුළ කිසිදු ඇණවුමක් සිදුකර නොමැති බවට තොරතුරු අණාවරනය වී ඇති බවත් බොහෝ ඉන්ධන පිරවුම්හල් අවම තොග පවත්වා ගැනීමට ද ප්‍රමාණවත් ඇණවුම් ලබාදී නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කර ඇති ඉන්ධන පිරවුම්හල් බලපත්‍ර සම්බන්ධයෙන් ද ඉදිරියේ දී තීරණයක් ගන්නා බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ Twitter පණිවිඩය පහතින්.

f7e7dc29b207d6f9453658632a105566

ඉන්දියාවේ දුම්රිය අනතුරෙන් මියගිය සංඛ්‍යාව 280 දක්වා ඉහළට

ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේදී දුම්රිය තුනක් එකිනෙක ගැටී සිදුවූ අනතුරෙන් මේ වන විට පුද්ගලයින් 280 කට වඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එසේම අනතුරෙන් පුද්ගලයින් 1000 කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා.

මෙම දුම්රිය අනතුර සිදුව ඇත්තේ ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ බලසෝර් දිස්ත්‍රික්කයේ වන අතර රාත්‍රී 7.00 ට පමණ මෙය සිදුව ඇති බවයි සඳහන් වන්නේත

ෂාලිමාර් සිට චෙන්නායි දක්වා ධාවනය කෙරෙන කොරමැන්ඩල් එක්ස්ප්‍රස් නම් දුම්රිය බලසෝර්හිදී පීලි පැනීමකට ලක්වීමෙන් එහි ප්‍රථම අනතුර සිදුව ඇති අතර දුම්රිය පීලිපැනීමත් සමග ඉන් ගැලවී ගිය මැදිරි ඊට සමාන්තරව දෙපසින් දිවෙන දුම්රිය මාර්ග දෙක මතට විසිවී ගොස් නතර වී තිබුණේ එහි නවතා තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ද ගැටීමෙන් පසුවයි.

ඒ, සමගම යෙස්වාන්ත්පුර් සිට හොව්රා දක්වා ධාවනය වෙමින් පැවති හොව්රා සුපර්ෆාස්ට් එක්ස්ප්‍රස් දුම්රිය, අධි වේගයෙන් පැමිණ අනතුරට ලක්වී තිබූ දුම්රිය මැදිරිවල ගැටී එහි දෙවන අනතුර සිදුවී තිබෙනවා.

හෙට සිට ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට තීරණයක්

හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල අඩු කිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කට වැඩි අගයකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බවයි එහි සභාපති මුදිත පීරිස් සඳහන් කළේ.

නව මිල ගණන් පසුව ප්‍රකාශ කිරීමට නියමිතයි.

පොසොන් පොහොය දිනය අදයි

ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (03) යෙදී තිබෙනවා.

ධර්මාශෝක රජු සහ දේවානම්පියතිස්ස රජු අතර පැවති රාජ්‍ය තාන්ත්‍රික කල්‍යාණ මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කරනු ලැබුවේ අද වැනි පොසොන් පොහොය දිනයකයි.

මහින්දාගමනයට අමතරව පොසොන් පුර පසළොස්වක පොහොය දිනය ශාසන ඉතිහාසයේ වැදගත් සිද්ධීන් රැසක් සිදුවූ පොහොය දිනයක් ලෙසද සැලකෙන අතර බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් ප්‍රථමවරට සවණක් ඝණ බුදුරැස් විහිදීම සිදුවූයේද අද වැනි පොහොය දිනක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

මෙරට බෞද්ධ ජනතාව පොසොන් පොහොය ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන ලබාදෙමින් සමරනු ලබනවා.

ඉන්දියාවේ දුම්රිය තුනක් එකිනෙක ගැටී පුද්ගලයින් 200 කට වැඩි පිරිසක් මරුට

ඉන්දියාවේ දුම්රිය තුනක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 200 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඔඩීෂා ප්‍රාන්තයේ බලසෝර් නගරයේ දී මගී දුම්රිය දෙකක් සහ භාණ්ඩ දුම්රියක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

මෙම අනතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 207 දෙනෙකු මිය ගොස් 900 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට රාජ්‍ය ආපදා කළමනාකරණ ඒජන්සිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කෙළේ.

තවදුරටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

ගුරු ස්ථාන මාරු ගැන දැනුම්දීමක්

2021/12/31 වන දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස්ථාන මාරු ලිපි ලැබී ඇති සියලුම ගුරුවරු ජූනි මස 12 වනදා වන විට සේවා ස්ථානයට වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

යම් ගුරුවරයෙකුට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම්, සේවයට වාර්තා කිරීමෙන් පසු විදුහල්පති මඟින් අභියාචනය ගුරු මාරු අංශයට යොමු කළ හැකි බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.

මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මාරු අංශයට පෞද්ගලිකව පැමිණීම අවශ්‍ය නොවන බවත් අභියාචනයට යොමු කළ අයදුම්පත් පිළිබඳ අභියාචනා තීරණය කඩිනමින් දැනුම් දෙන බවත් අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

සති අන්තයේත් ඉන්ධන බෙදාහැරීම් සිදුකරන ලෙස බලශක්ති ඇමතිගෙන් උපදෙස්

සියලුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් තොග සැපයීම සඳහා මෙම සතියේ සෙනසුරාදා සහ ඉරිදා දිනවලද ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දී ඇති බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අතිකාල වියදම් අඩු කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථා තොග ගබඩා පර්යන්තයේ පසුගිය මාස 4 තුළ ඉරිදා සහ රජයේ නිවාඩු දිනවල ක්‍රියාත්මක නොවූ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මිල අඩුවීමක් අපේක්ෂාවෙන් පසුගිය සෙනසුරාදා සිට ඉන්ධන පිරවුම්හල් මගින් ඇණවුම් ලබා නොදීම, අවම තොග පවත්වා නොගැනීම, මිල සංශෝධන සහ කෝටා වැඩි කිරීමෙන් පසු පාරිභෝගිකයන්ගේ ක්ෂණික ඉල්ලුම වැඩිවීම නිසා ඉන්ධන පිරවුම්හල්වල හිඟයක් නිර්මාණය වී ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

c3d8d2dd38b2c77306ea09cb05cee595

මිහින්තලය රජමහ විහාරයට පුණ්‍යාධාර ලබාදීම සඳහා QR කේතයක් හඳුන්වා දෙයි

පොසොන් පොහොය නිමිත්තෙන් මිහින්තලය රජමහ විහාරය සංවිධානය කර ඇති පුණ්‍ය වැඩසටහන් සඳහා පුණ්‍යාධාර ලබාදීමට QR කේතයක් හඳුන්වා දී තිබෙනවා.

QR හරහා මුදල් ගෙවීම් සිදු කළ හැකි ඕනෑම ඇප් එකක් මඟින් මෙම QR කේතය ස්කෑන් කිරීමෙන් ආරක්ෂිතව පුණ්‍යාධාර සිදුකළ හැකි බව, එය හඳුන්වා දී ඇති RDB බැංකුව පවසනවා.

අදාළ QR කේතය පහතින්.

2e4d1975cd6f62c12e59b6ab8eaa8a58