බස්නාහිර තැපැල් කාර්යාල කීපයක් පැය 24 ම විවෘතයි

බස්නාහිර පළාතට අයත් තැපැල් කාර්යාලය කිහිපයක් පැය 24 පුරා විවෘත කර තබන බව නියෝජ්‍ය තැපැල්පති පවසනවා.

රථවාහන වැරදි සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොලිසිය මගින් නිකුත් කරනු ලබන දඩ පත්‍රිකා ගෙවීම් හා අනෙකුත් තැපැල් කටයුතු සඳහා මේ තැපැල් කාර්යාල විවෘතව තබන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව පහත සඳහන් තැපැල් කාර්යාල පැය 24 පුරා විවෘතව පවතිනවා.

බොරැල්ලවැල්ලවත්තහැව්ලොක් ටවුන් දෙහිවලමොරටුවපානදුර කළුතර කොටහේන කොම්පඤ්ඤවීදියබත්තරමුල්ල ගල්කිස්ස නුගේගොඩ සීතාවකපුර

වැඩ බලන පොලිස්පතිවරයාගේ පත්වීම සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර තිබෙනවා.

මෙම පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කර තිබූ අතර එම පත්කිරීම එම සභාව විසින් අනුමත කර තිබෙන බව කතානායකවරයා තහවුරු කළා.

ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව ජනාධිපතිවරයා විසින් මාස 3 ක කාලයක් සඳහා පත් කරන්නට යෙදුනා.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2022 උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අනුව විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා කඩඉම් ලකුණු අද (01) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අයදුම්කරුවන් 263,933ක් අතරින් 166,938ක් (63.3%)ක සිසුන් ප්‍රමාණයක් අවම විශ්වවිද්‍යාල සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබුණා.

ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද (01) දෙවන දිනටත් පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ආගම්වලට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

හපුතලේ හා දියතලාව අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් පෙරලීමෙන් දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇතිව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අද (01) අලුයම හපුතලේ හා දියතලාව අතර දුම්රිය මාර්ගයට ගල් හා පස් කන්දක් කඩා හැලීම නිසා මාර්ගය අවහිර වී තිබෙනවා.

මේ හේතුවෙන් කොළඹ සිට බදුල්ල දක්වා පැමීණි රාත්‍රී තැපැල් දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයට  ආපසු හරවා යැවූ බවත්, දුම්රිය දෙපාර්තමේන්තු සේවකයින් හා දියතලාව යුධ හමුදා කඳවුරේ භට පිරිස් මේ වන විට දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා.

ලෝක ඒඩ්ස් දිනය අදයි

ලෝක ඒඩ්ස් දිනය අදට (දෙසැම්බර් 01) යෙදී තිබෙනවා.

මේ වසරේ ඒඩ්ස් දින තේමාව වන්නේ ‘ප්‍රජාව බලගන්වමු, ඒඩ්ස් වළකමු’ යන්නයි.

1981 වසරේ ඇමරිකාවේ, ලොස් ඇන්ජලීන් නගරයේ රෝහලකින් පළමු AIDS ආසාධිතයා හඳුනාගත් අතර එතැන් පටන් මේ දක්වා පුද්ගලයන් මිලියන 40 කට වැඩි පිරිසක් ඒඩ්ස් ආශ්‍රිත රෝගාබාධවලින් මිය ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ මේ වසරේ මුල් මාස 10 තුළ පමණක් HIV ආසාදිතයින් 485 දෙනෙකු හඳුනාගෙන ඇති බවත්, ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ තවදුරටත් පුළුල් කර ඇති බවයි ඒඩ්ස් හා ලිංගාශ්‍රිත රෝග ඒකකයේ වෛද්‍ය නිෂාන් ගුණරත්න සඳහන් කරන්නේ.

ජෙරම් ප්‍රනාන්දු දෙවන දිනටත් CID යට පැමිණෙයි

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද (01) දෙවන දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

අද දෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස ඔහුට ඊයේ (30) දැනුම්දී ඇති බවයි සඳහන් වන්නේ.

ආගම්වලට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

නව කැළණි පාලම අද රාත්‍රි​යේ සිට වැසේ

නව කැලණි පාලම (කල්‍යාණි රන් පිවිසුම) පළමු අදියර යටතේ අද (01) සිට වසා තැබෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව පළමු අදියර යටතේ අද රාත්‍රී 9.00 සිට දෙසැම්බර් 04 වනදා උදෑසන 6.00 දක්වා නව කැලණි පාලම (කල්‍යාණි රන් පිවිසුම) වසා තැබෙන බවයි සඳහන් වන්නේ.

අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවත්, අපහසුතා මග හරවා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ විකල්ප මාර්ග පහතින්.

656870f387c7bpdf_page_0 656961c05a710

ධීවරයින්ට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

දකුණු අන්දමන් මුහුදේ සහ ගිණිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශවලට ඉදිරි පැය 48 තුළ යාත්‍රා නොකරන ලෙස, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.

ඒ අනුව ගිණිකොනදිග දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය, ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අදාළ මුහුදු ප්‍රදේශවල සිටින පිරිස්වලට, වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් කරා පැමිණෙන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

656870f3947a3pdf_page_1 656870f387c7bpdf_page_0

මැතිවරණය වෙනුවෙන් ගොනුකළ පෙත්සම් අදත් විභාගයට ගැනේ

පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමට එරෙහිව  ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (30) දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගෙන තිබෙනවා.

ඒ අනුව පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී එම පෙත්සම් ඉදිරිපත් කර තිබූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති වෙනුවෙන් නීතීඥවරුන් කරුණු දක්වා තිබෙනවා.

ඉකුත් මාර්තු මස 9 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමෙන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයවී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ.