ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ගයේ අලුත්වැඩියා කටයුතු කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ග කොටසෙහි (Low level Road) අලුත්වැඩියා කටයුතු මාස 03ක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ග කොටස (Low level Road) අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් නිකුත්කළ නිවේදනය පහතින්.

648c375b32aa4pdf_page_0

විමල්ට එරෙහි නඩුවක් කැඳවීමට දින නියම කෙරේ

විමල් වීරවංශට එරෙහි නඩුවක් කැඳවීම සඳහා කඩිනම් දිනයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණයෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

රුපියල් මිලියන 75කට ආසන්න වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ නඩුව අද (16) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළේ, මෙම නඩුව 2017 වසරේ ගොනුකර තිබුනද එහි විභාගය මේ දක්වා ආරම්භ කිරීමට නොහැකි වී ඇති බවයි.

ඒ අනුව මෙම නඩුව යළි ජුලි මස 17 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

මේ අවස්ථාවේ වාහන ආනයනයට අවස්ථාව ලබාදිය නොහැකියි – මුදල් රාජ්‍ය ඇමති

රුපියලේ අගය අවප්‍රමාණය වීම ඉල්ලුම සැපයුම මත ඇතිවූ සාමාන්‍ය තත්ත්වයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව පසුගිය දින කිහිපය තුළ ඛනිජ තෙල් සංස්ථාවට ඉන්ධන මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 80 ක් පමණ එකවර අවශ්‍ය වූ බවත්, පසුව ඔවුන් වෙළඳපොලෙන් හා මහ බැංකුවෙන් එය ලබාගත් බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

එසේම ඩොලර්වල ආයෝජනය කරන පිරිස්ද වෙළඳපොලෙන් ඩොලර් මිලදී ගැනීම යන කරුණු හේතුවෙන් ඩොලර්වල මිල ඉහළ යාමට හේතුවූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර මෙම අවස්ථාවේ රථ වාහන ආනයනයට අවස්ථාව ලබාදිය නොහැකි බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.

වව්නියාවේ සිදුවූ අනතුරකින් මවක් සහ දියණියක් මරුට

වව්නියාව කන්නට්ටිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් සහ ඇයගේ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 36 හැවිරිදි වියේ පසුවූ එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවක් සහ 6 හැවිරිදි වියේ පසුවූ ඇයගේ කුඩා දියණියයි.

අනතුරත් සමඟ ටිපර් රථයේ පැමිණි තිදෙනෙකුගෙන් එක් අයෙකු පළාගොස් ඇති අතර අනෙක් දෙදෙනා ගම්වාසීන් විසින් අල්ලා පොලීසියට භාරදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා දින නියම කෙරේ

2022 (2023) අ.පො.ස. උසස් පෙළ විභාගයේ ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව සෞන්දර්යය හා තාක්ෂණවේදය විෂයයන්හි ප්‍රායෝගික පරීක්ෂණ ජුනි 27 සිට ජූලි 31 දක්වා දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

648c0c427bfcc

රජයේ දෙපාර්තමේන්තු දෙකක් වසා දැමේ

රජයේ දෙපාර්තමේන්තු දෙකක් වසා දැමීමට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවීමත් සමඟ අවලංගු කරන ලද අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව මෙලෙස ඈවර කර වසා දැමීමට තීරණය කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

එසේම විදුලි සංදේශ දෙපාර්තමේන්තුවද මෙලෙම ඈවර කර වසා දැමීමට තීරණය කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

648be95f4afb1pdf_page_0

මුල්ලේරියාව දරුවාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඩ්

මුල්ලේරියාව දරුවාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තණකොළ කැපීමේ නිරතව සිටි පුද්ගලයා එළඹෙන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මුල්ලේරියාව පොලිස් වසමට අයත් මාලබේ හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක තිබියදී අදාළ කුඩා දරුවාගේ මළසිරුර පසුගිය 08 වනදා සවස මුල්ලේරියාව පොලීසිය සොයාගත් අතර පසුව ඒ සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව දරුවා රැඳී සිටි වැඩබිමේ තණකොළ කපන්නෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මුල්ලේරියාව පොලීසිය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ නව ක්‍රමවේදය අද සිට ඇරඹේ

මාර්ගගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ වැඩපිළිවෙල අද (15) සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඒ සඳහා අනුගමනය කළ යුතු පියවර පහතින්.

* අයදුම්කරු විසින් https://www.immigration.gov.lk වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි විය යුතුයි.

* කඩිනම් ක්‍රමය හෝ සාමාන්‍ය ක්‍රමය තෝරාගත යුතුයි.

* අයදුම්පත සම්පූර්ණ කර අදාළ අවශ්‍ය ලේඛණ සමඟ Upload කළ යුතුයි.

* ඡායාරූපය ලබා ගැනීමේදී ලබාදෙන අනුක්‍රමික අංකය ඇතුළත් කර අදාළ පියවරයන් අවසන් කළ යුතුයි.

* Online ගෙවීමේ පහසුකම්ද එහි සලසා ඇති අතර Online ගෙවීම් සිදු කිරීමට අපහසු පුද්ගලයින් සඳහා ඇඟිලි සලකුණු ලබාදීමේ කටයුතුවලින් පසු ලබාදෙන රිසිට් පත ඉදිරිපත් කර ලංකා බැංකුවට ගොස් ගෙවීම් සිදුකළ හැකියි.

* ඇඟිලි සලකුණු ලබාදීමේ පහසුකම දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51ක ස්ථාපිත කර ඇති අතර  එම පහසුකම ඇති තමන්ට ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලට ගොස් ඇඟිලි සලකුණු ලබාදිය හැකියි.

නීතිවිරෝධීව මෙරටට ගෙන්වූ රුපියල් කෝටි 1500 ක දුම්වැටි තොගයක් විනාශ කෙරේ

2021 වසරේ නීතිවිරෝධිව මෙරටට ගෙන්වූ රුපියල් කෝටි 1500 ක වටිනාකමින් යුත් දුම්වැටි කෝටි 20ක ප්‍රමාණයක් කෙරවලපිටිය කසල අංගන පරිශ්‍රයේදී විනාශ කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ, රේගුව විසින් මෙම මෙහෙයුම සිදු නොකළා නම් අහිමි වන රාජ්‍ය ආදායම රුපියල් කෝටි 1300ක් පමණ වන බවයි.

මේවායේ ප්‍රමිතිය සම්බන්ධයෙන් වගකීමක් කිසිවෙකුත් නොගන්නා හෙයින් මේවා අලෙවි කිරීමට නොහැකි බවත් මෙම දුම්වැටි තොගය විනාශ කිරීම සඳහා සිගරට් එකකට රු 2ක් මුදලක් එනම් කෝටි 40 ක මුදලක් ශ්‍රී ලංකා දුම්කොල සමාගමෙන් අයකරගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම මෙම දුම්වැටි මෙරටට ගෙන්වන ලද ආයතන 03 කට ද ලක්ෂ 25ක දඩයක් පනවා ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.

ශිෂ්‍යත්වය විභාගය පැවැත්වෙන දිනය නිවේදනය කෙරේ

2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය පැවැත්වෙන දිනය විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඒ අනුව ජූනි මස 15 වන දින සිට ජුලි 06 දක්වා අයදුම්පත්‍ර කැඳවීම සිදුවන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.