බම්බලපිටියේ ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් වටලයි

ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් වටලා එහි අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නොවැම්බර් මස 27 වනදා බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත බම්බලපිටිය, ලෝරිස් පාර ප්‍රදේශයේ පිහිටි අදාළ අධ්‍යාපන ආයතනය වටලා සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

දේශීය හා විදේශීය රැකියාවලට අවශ්‍ය කරන ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා අධ්‍යාපනය ලබාදෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළ කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සිසුන් බඳවා ගෙන මෙම ආයතනය පවත්වාගෙන ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 24 ක් වූ ගිරිඋල්ල, නාරංගමුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර එම ආයතනයේ සම අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ලද අවුරුදු 25 ක් වන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා බම්බලපිටිය පොලීසිය විමර්ශන සිදුකරනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

656eef262f7d2

ඉදිරි දින කීපයේදී වැසි තත්ත්වයේ අඩුවීමක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

ඉදිරි දින කීපයේදී සාපේක්ෂව වැසි තත්ත්වයේ ප්‍රමාණාත්මකව අඩුවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසනවා.

එමෙන්ම උදේ කාලයේ ඇති වැසි තත්ත්වය ක්‍රමයෙන් සවස් කාලයේ ඇතිවන වැසි තත්ත්වයක් බවට පරිවර්තනය වීමක් සිදුවන බවයි ඔහු සඳහන් කරන්නේ.

පවතින වැසි තත්ත්වයේ සැලකිය යුතු අඩුවීමක් 7 වැනිදායින් පසු අපේක්ෂා කරන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියා.

ඔෂල හේරත්ට එරෙහිව නාගානන්ද ගොනුකළ පෙත්සම ඉල්ලා අස්කර ගනී

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත්ට එරෙහිව ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කරගෙන තිබෙනවා.

මෙම පෙත්සම අද (05) අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී වග උත්තරකාර ඔෂල හේරත් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අධිකරණය හමුවේ පෙනී සිට ඇති බවයි සඳහන් වන්නේ.

මෙම පෙත්සමට අදාළ සංශෝධන සිදු කිරීමට පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු විසින් අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර ඊට වග උත්තරකාර පාර්ශ්වය විරෝධය පළකර තිබෙනවා.

ඒ අනුව නව පෙත්සමක් ගොනු කිරීමේ අයිතිය රඳවා ගනිමින් මෙම පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට අවසර දෙන ලෙස නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එහිදී විනිසුරු මඩුල්ල පෙත්සම ඉල්ලා අස් කරගැනීමට අවසර දෙමින් එය නිශ්ප්‍රභ කිරීමට තීන්දු කර තිබෙනවා.

පොල්දූවෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසා දැමේ

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය මේ වනවිට පොල්දූව මංසන්ධියෙන් වසා දමා තිබෙනවා.

ගුරු – විදුහල්පති සංගම් මේ වන විට සංවිධානය කර ඇති විරෝධතාවක් හේතුවෙන් මෙලෙස එම මාර්ගය වසා දමා ඇති බවයි සඳහන් වන්නේ.

656eea1840e63 656eea1835d97

කෙළෙහි ගුණ නොදන්න මිනිස්සු අතලොස්සක් අතර මහින්දට ආදරය කරන බහුතරයක් ඉන්නවා – රෝහිත

2024 වසරේ එන ඕනෑම මැතිවරණ අභියෝගයක් ජය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සම්මේලනයට සියල්ල සූදානම් බවත් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරයට ඇතුළු කිරීමට නොහැකි තරම් සෙනඟක් මෙයට සහභාගී වීමට අපේක්ෂාවෙන් සිටින බවයි ඔහු සඳහන් කළේ.

කෙළෙහි ගුණ නොදන්නා මිනිසුන් අතලොස්සක් අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ආදරය කරන බහුතරයක් සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

කැලණිය විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමයි

කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එම විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව වෛද්‍ය පීඨය හැර කැලණිය විශ්ව විද්‍යාලයේ සියළුම පීඨ අද (04) පස්වරු 2.00 සිට නැවත දැනුම්දෙන තුරු වසා දමන බවයි කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා සඳහන් කළේ.

හෙට (05) උදෑසන 8.00ට පෙර සියලුම නේවාසික සිසුන් සිය නේවාසිකාගාරවලින් ඉවත්විය යුතු බවයි වැඩිදුරටත් දැනුම් දී තිබෙන්නේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටි ආරක්ෂක නිලධාරියෙකු විවේකාගාරයේ නිදා සිටියදී පැහැරගෙන ගොස් රඳවාගෙන පහරදීමේ සිද්ධියට අදාළව මෙම පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම පහළ බසී

ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය 2022 ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව 2023 ඔක්තෝම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 898.0 දක්වා 14.6% කින් පහත වැටී තිබෙනවා.

එය 2023 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ අගයට සාපේක්ෂව 13.13% ක අඩුවීමක් බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කරන්නේ.

ඇඟලුම් සහ රෙදිපිළි, රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන සහ පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන වැනි ක්ෂේත්‍රවල අපනයන නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම අඩුවීම වෙළඳ භාණ්ඩ අපනයන පහත වැටීමට හේතු වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා නායයෑමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මීට අමතරව ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහාද නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි ඉදිකිරීම් පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසයි එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

අදාළ නිවේදනය පහතින්. ‍

656dacf6b1536

ක්‍රිකට් පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා – මනූෂ නානායක්කා​ර

ක්‍රිකට් පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටලු විසඳීමට පත්කළ විශේෂ කැබිනට් අනු කමිටුව පවසනවා.

ඒ අනුව අද (04) අයවැය විවාදයට එක්වෙමින් එහි සාමාජික අමාත්‍ය මනූෂ නානායක්කාර සඳහන් කළේ, කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කමිටුවේ අවධානය යොමුවූ බවයි.

පරිපාලන ගැටලුව විසඳීම සඳහා ක්‍රිකට් නීතියක් ඇතුළත් කිරීමට අවධානය යොමුව ඇති බවත්, මූල්‍ය විනිවිදභාවය සැකසීම සම්බන්ධයෙන්ද අවධානය යොමුව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින අඩුපාඩු රැසක් සම්බන්ධයෙන් සිය කමිටුවට අනාවරණය වූ බවද අමාත්‍ය මනූෂ නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළා.

මෙරට විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 07 කට රතු බිල්

සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් ලක්ෂ 65 ක් පමණ නිසි පරිදි විදුලි බිල් නොගෙවන බවද, ලක්ෂ 7 කට පමණ රතු බිල් නිවේදන නිකුත් කර ඇති බවද විදුලි බල මණ්ඩලය පෙන්වා දෙනවා.

සමස්ත විදුලි පාරිභෝගික ප්‍රමාණයෙන් රතු නිවේදන නිකුත් කරනු ලබන්නේ 10% පමණ මට්ටමේ ප්‍රතිශතයක් සලකා බලා බවත්, එයින්ද විදුලි විසන්ධි කිරීම දක්වා යොමු වන්නේ 1% කට පමණක් බවත් ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ පවසනවා.

විදුලි බිල අඩු වූවත්, වැඩි වූවත් බිල නොගෙවන පිරිසක් සිටින බවද, විදුලි බිල් නොගෙවා සිටීම අද ඊයේ ඇතිවූ දෙයක් නොව, සැමදා පැවතුනු දෙයක් බවද ඔහු පවසා සිටිනවා.

විදුලි බිල වැඩිවීමෙන් යම්කිසි අපහසුතාවයක් ඇති බව සැබෑ නමුත් මේ ආදායම එකතු කරගත යුතු බවත්, බිල් වැඩි කර ඇත්තේ ආදායම වැඩි කරගැනීමට බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.