දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයේ රස පරීක්ෂක වාර්තා ගැන CID යට නියෝගයක්

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට අදාළ පරීක්ෂණවලදී රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකළ භාණ්ඩවලට අදාළ පරීක්ෂණ වාර්තා මෙතෙක් ලැබී නොමැති බැවින් එම වාර්තා කඩිනමින් කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙන්වා දුන්නේ මෙම පරීක්ෂණයට අදාළව රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකරන ලද ලේ සාම්පල ඇතුළු ද්‍රව්‍යවලට අදාළ වාර්තා මෙතෙක් ලැබී නොමැති බවයි.

එම වාර්තා ලැබීමේ ප්‍රමාදයක් තිබෙන බවත් ඒවා කඩිනමින් කැඳවීමට පියවර ගන්නා ලෙසත් අවශ්‍ය නම් රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහිකැඳවීම් යොමුකිරීමට හැකියාව තිබෙන බවත් පැමිණිල්ල ලබන 28 වනදා කැඳවන ලෙසයි මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඩෙංගු මර්දන ව්‍යාපාරය සඳහා බඳවාගත් පිරිසගේ රැකියා ස්ථිර කිරීමට අවධානය

ඩෙංගු මර්දන ව්‍යාපාරය සඳහා බඳවාගත් පිරිසගේ රැකියා ස්ථිර කිරීම සඳහා තමා පුද්ගලිකව හෝ මැදිහත් වෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

මෙම පිරිස 2016 බඳවා ගත් කණ්ඩායමක් බවත්, මොවුන්ට මූලික සුදුසුකම් කිසිවක් නොතිබූ අය බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම පිරිස් ස්ථිර කළයුතු බවට කැබිනට් පත්‍රිකා 3 ක් මේ වන විට ඉදිරිපත් කර ඇති බවත් මොවුන්ට සාධාරණයක් ඉටු කිරීමට කඩිනමින් කටයුතු කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වැඩිදුරටත් සඳහන් කළේ.

ජනපති හා පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය එක්සත් රාජධානි සංචාරයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හමුවී තිබෙනවා.

ඒ අනුව පොදුරාජ්‍ය මණ්ඩලය තුළ ඩිජිටල්කරණ වැඩසටහන් පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

දේශගුණික විපර්යාස වලට මුහුණදීමට රජයේ උපාය මාර්ග සහ  ප්‍රයත්නයන් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයට සහය දැක්විය හැකි ආකාර‍ය පිළිබඳව ද එහිදී  අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

නෞකා අනතුරු පිළිබඳ කරුණු ​සෙවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද රැස්වෙයි

මෙරට මුහුදු සීමාවේදී ගිනිගැනීමට ලක්වු නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකා අනතුරු පිළිබඳ කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පළමු වරට අද (20) රැස්වීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරුවේ එම කාරක සභාව රැස්වීමට නියමිත බවයි එම කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම සඳහන් කළේ.

එක්ස්ප්‍රස් පර්ල් හා නිව් ඩයමන්ඩ් නෞකා අනතුරු ගැන සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙසට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය දා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා.

එම ඉල්ලීමට අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අමාත්‍ය රමේෂ් පතිරණගේ සභාපතීත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කර කිරීමට කටයුතු කළා.

ආනයන සීමා ලිහිල් කරන ආකාරය ජුනි අග IMF වෙත දැනුම්දීමට කටයුතු කරනවා – ශෙහාන් සේමසිංහ

උද්ධමනය අඩුවීමට සමාන්තරව ඉදිරි මාස දෙක තුළදී වෙළෙඳපොළ සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව බැංකු පොලී අනුපාත ද පහළ යනු ඇති බවයි වැඩබලන මුදල් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ජුනි මාසයේ අග වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ආනයන සීමා ලිහිල් කරන ආකාරය කාලවකවානු සහිතව දැනුම්දීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.

කෙසේ නමුත් මේ වසරේ වාහන ආනයනයට අවසර ලබාදීමේ ඉඩක් නොමැති බවයි වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

විමල්ට එරෙහිව වරෙන්තුවක්

හිටපු අමාත්‍ය විමල් වීරවංශ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් අද (18) වරෙන්තු නිකුත් කර තිබෙනවා.
අනතුරුව අදාළ නඩුව සැප්තැම්බර් මස 11 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.

රෝහිත බෝගොල්ලාගම එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ලෙස පත් කෙරේ

රෝහිත බෝගොල්ලාගම අගෝස්තු 1 සිට එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ලෙස පත් කර තිබෙනවා.
ඔහු මීට පෙර විදේශ අමාත්‍යවරයෙක් ලෙසද කටයුතු කර තිබෙනවා.

ඉන්ධන තොග සම්බන්ධයෙන් දැනුම්දීමක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා IOC සමාගම්වල ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග සහ අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල කිසිදු හිඟයක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඉන්ධන පිරවුම්හල්වල ප්‍රමාණවත් තොග ඇති බවත් ලබා දී ඇති සියලුම ඇණවුම් බෙදාහැරීමට කටයුතු කර ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 9,000ක් රැගෙන එන නෞකාව එළැඹෙන 22 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

තිරිඟු පිටි නිශ්චිත භාණ්ඩයක් ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

තිරිඟු පිටි ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන බැවින් 2023 ජුනි 16 මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි “නිශ්චිත භාණ්ඩ” යටතට ගෙන එමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

මිනුවන්ගොඩදී සිදුක​ළ වෙඩිතැබීමකින් දෙදෙනෙකුට තුවාල

මිනුවන්‌ගොඩ, බොර‌ගොඩවත්ත ඔස්ටින් මාවත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව ඊයේ (17) රාත්‍රී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකුට මෙලෙස වෙඩිතබා ඇති බවයි සඳහන් වන්නේ.

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ 33 හැවිරිදි සහ 43 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.