විදුලි ගාස්තු සං‍‍ශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමේ සැසියක්

විදුලි ගාස්තු සං‍‍ශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා විශේෂ මහජන අදහස් ලබාගැනීමේ සැසියක් පැවැත්වීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

ලබන අඟහරුවාදා දිනයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එම මහජන උපදේශන සැසිය පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ඒ අනුව එහිදී විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සාමාජිකයින් ඇතුළු ඕනෑම අයෙකුට මේ සඳහා අදහස් ලබාදීමට හැකියාව පවතින බවයි මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

අම්බලන්ගොඩ නගරයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකුට ඊයේ (24) රාත්‍රීයේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතබා පළාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ, 56 හැවරිදි එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

වැග්නර් හමුදා පසුබසී

ලේ වැගිරීම වැළැක්වීම සඳහා සිය හමුදා කණ්ඩායම ආපසු හැරී යන බව වැග්නර් හමුදා ප්‍රධානියා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව රුසියාවේ වැග්නර් කුලී හේවා කණ්ඩායමේ භට පිරිස් කැරැල්ලකට උත්සාහ කර පැය 24කටත් අඩු කාලයකට පසු රොස්තොව්-ඔන්-ඩොන් නගරයෙන් පිටව යාමට පටන් ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ කුලී හමුදා කණ්ඩායම වන වැග්නර් සන්නද්ධ කණ්ඩායම ඊයේ (24) සටනක් ආරම්භ කිරීමට කටයුතු කර තිබුණා.

වැග්නර් බලකාය විසින් රුසියානු පාලනය යටතේ පැවති නැගෙනහිර යුක්රේනයට මායිම්ව පිහිටි රොස්තොව් නගරය පළමුව අත්පත් කර ගැනීමට කටයුතු කර තිබුණා.

මෙරට න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමේ සාකච්ඡා සැප්තැම්බර් මස ඇරඹේ

මෙරට න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරිම සඳහා රුසියානු නියෝජිතයින් එළඹෙන සැප්තැම්බර් හා ඔක්තෝබර් මසවලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් පවසනවා.

ඒ අනුව ධනාත්මකව සියලු දේ සිදුවේ යැයි බලාපොරොත්තු වන බවයි රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් වැඩිදුරටත් සඳහන් කළේ.

ඉරානයෙන් ලබාගන්නා තෙල් වෙනුවට ශ්‍රී ලංකාවේ තේ ලබාදීමට එකඟතාවක්

ඉරානයෙන් ලබාගන්නා තෙල් වෙනුවට මෙරට තේ නිෂ්පාදනවලින් පියවීම සඳහා 2021 වසරේදී දෙරටේ රජයන් එකඟතාවට එළැඹි අතර එම ක්‍රමවේදය ලබන ජුලි මස සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඉරාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සොහොයිල් කෙයිරි සඳහන් කළේ, ශ්‍රී ලංකාව ඉරානයෙන් ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 250ක් වටිනා ඉන්ධන වෙනුවෙන් පළමුව තේ අපනයන කරනු ලබන බවයි.

එම ගිවිසුමට අනුව මසකට අමෙරිකානු ඩොලර් මිලියන 05ක් වටිනා තේ මාස 48ක් පුරා ඉරානයට අපනයනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

නාකොටික් නිලධාරීන් 7 දෙනෙකු ජුලි 7 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් 7 දෙනෙකු ජුලි 7 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

පසුගිය ජනවාරි මස 10 වන දින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව එම නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව ඔවුන් අද (23) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

මහාචාර්ය මංජුල ප්‍රනාන්දු PUCSL නව සභාපති ලෙස පත් කිරීමට අනුමැතිය

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මංජුල ප්‍රනාන්දු පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඒ සඳහා හිමිවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අස්වැසුම සහනාධාරය ලැබිය යුතු පිරිස් වෙත ලැබී නැහැ – ජගත් කුමාර

අඩු ආදායම්ලාභීන්ට සහනාධාර ලබා දීමේ අරමුණින් ආරම්භ කළ අස්වැසුම වැඩපිළිවෙළට ඇතුළත් කර ගත් පුද්ගලයින් අතර රාජ්‍ය නිලධාරීන් ඇතුළු ධනවතුන් ද සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසනවා.

අද (23) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක්ද අස්වැසුම වැඩපිළිවෙළේ අක්‍රමිකතා ඇති බවට චෝදනා කළා.

අසාධාරණයට පත්වූ ජනතාවට සිය ගැටලු ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙසයි එහිදී පාර්ලිමෙන්තු මන්ත්‍රී ජගත් කුමාර අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ.

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

හෙට (24) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව, කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට හෙට පෙරවරු 8.00 සිට රාත්‍රි 12.00 දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.

අඹතලේ ජල සැපයුමේ සිදු කරන වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

30 වැනි සිකුරාදා විශේෂ බැංකු නිවාඩුවක් ලෙස ප්‍රකාශයට පත් කරයි

ජුනි මස 30 වැනිදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

6495278b1e666pdf_page_0