අස්වැසුම දෙවන අදියරට අයදුම්පත් කැඳවීම ජනවාරි මාසයේදී

අස්වැසුම දෙවැනි අදියර සඳහා ලබන ජනවාරි මාසයේදී අයදුම්පත් කැඳවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඊට පෙර පළමු අදියර පිළිබඳ සමාලෝචනයක් සිදු කිරීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

පළමු අදියර ක්‍රියාත්මක කිරීමේ දී ඇති වූ ගැටළු ද, විවිධ පාර්ශ්ව වෙතින් ඉදිරිපත් වූ යෝජනා ද මෙම සමාලෝචනයේදී සැලකිල්ලට ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටිනවා.

පොලිස් මහජන සහන දිනය නැවත ආරම්භ කෙරේ

තාවකාලිකව අත්හිටුවා තිබූ පොලිස් මහජන සහන දිනය නැවත ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තීරණය කර තිබෙනවා.

මෙය කොවිඩ් වසංගතය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබුණු අතර, ලබන 15 වැනිදා සිට නැවත ආරම්භ වනවා.

‍රජයේ නිවාඩු හැර සෑම සිකුරාදා දිනකම පෙරවරු 9.00 සිට මහජන සහන දිනය පැවැත්වෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ.

දිවයිනේ පොලිස් ස්ථාන හා විවිධ විමර්ශන අංශයන් වෙත මහජනතාව විසින් ඉදිරිපත් කරනු ලබන පැමිණිලි අතරින් ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වු පැමිණිලි සෘජුවම වැඩබලන පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කිරීමට මෙහිදී අවස්ථාව හිමිවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ගුවන් මගියෙකු නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් තිබූ රුපියල් විසි දෙලක්ෂ අසූ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් අද (11) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු ගම්පොළ, පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි, නිතර නිතර ගුවන් ගමන් වල නිරත වන ව්‍යාපාරිකයෙක් බවට හඳුනාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මොහු විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ “මැන්චෙස්ටර්” වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 22,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 114 ක් සඟවා ගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

බදුල්ල කොළඹ මාර්ගයේ කොටසක් බර වාහන ධාවනය සඳහා වැසෙයි

අයහපත් කාලගුණික තත්ත්වයත් සමග බදුල්ල කොළඹ මාර්ගයේ කොටසක් බර වාහන ධාවනය සඳහා වසා දැමීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව එම මාර්ගයේ ධාවනය වන බර වාහන සඳහා විකල්ප මාර්ගයක් ලෙස ඇටම්පිටිය මාලිගාතැන්න හරහා බණ්ඩාරවෙල මාර්ගය භාවිත කළ හැකි බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඊයේ (09) දිනයේ හාලිඇළ උඩුවර ප්‍රදේශයේ සිදුවූ නායයෑමත් සමග මෙම තීරණය ගෙන තිබෙනවා.

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකියි – ලදුදෙ

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි  බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ගෙලිඔය සහ ගම්පොල සහ දෙමෝදර සහ හාලිඇල අතර පස්කඳු කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

එසේම කොළඹ සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රියන්ද අවලංගු වීමක් සිදු නොවන අතර කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය වන වේලාවට වෙනත් දුම්රියක් ද , බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අද දින ඇල්ල දුම්රිය ස්ථානයෙන් වෙනත් බලවේග කට්ටියක් ද එම වේලාවන් වලට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැක  බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ගෙලිඔය සහ ගම්පොල සහ මෝදර සහ හාලිඇල අතර පස්කඳු කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක් හෙට යළි විවෘත වෙයි

කැලණිය විශ්වවිද්‍යාලයේ වසා දමා ඇති පීඨ කිහිපයක අධ්‍යයන කටයුතු හෙට (11) දිනයේ සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව විද්‍යා, පරිගණක තාක්ෂණ, වාණිජ හා කළමනාකරණ පීඨ යළි විවෘත කිරීමට සැලසුම් කර ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා සඳහන් කළේ.

එමෙන්ම සමාජ විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨ ලබන 18 වනදා සිට යළි විවෘත කිරීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

පෙට්‍රල් සහ ඩීසල් VAT බද්ද යටතට

පෙට්‍රල් සහ ඩීසල් සඳහාද එකතු කළ අගය මත බද්ද අය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව පාර්ලිමේන්තුවේදී VAT නොහොත් එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, බොරතෙල් වශයෙන් ගෙන එන ඉන්ධනවලට අය නොකරන බවයි.

රජයට මෙය සැඟවීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ස්ථාවර දුරකථනවලින් යවන SMS පණිවිඩත් VAT බද්ද යටතට

ස්ථාවර දුරකථනවලින් යොමු කරන කෙටි පණිවිඩ සඳහාද එකතු කළ අගය මත බද්ද අය කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අද (10) පාර්ලිමේන්තුවේදී VAT නොහොත් එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

VAT නොහොත් එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

බස්නාහිර පළාතේ ඇතැම් ස්ථානවල විදුලි සැපයුම යථා තත්ත්වයට

ලක්ෂපාන සමනලවැව සහ කොත්මලේ විදුලි බලාගාර යළි සක්‍රීය කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ අනුව බස්නාහිර පළාතේ ඇතැම් ස්ථානවලට මේ වන විට විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

එසේම කොළඹ සහ ඒ අවට ඇති සියලුම රෝහල්වල විදුලි සැපයුමද යථා තත්ත්වයට පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.