දූෂණ විරෝධි පනත් කෙටුම්පත සම්මත වෙයි

දූෂණ විරෝධි පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව අද (19) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.

දූෂණ විරෝධි පනත් කෙටුම්පතට අදාල සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා අද එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.

මේ දේශපාලනය කරන කාලයක් නෙමෙයි, හරි දේ කරන කාලයක් – ෆාරීස් හැඩඩ් සර්වෝස්

ආර්ථික ගැටලුවට විසඳුම් ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව මේ වනවිට සිදුකරමින් යන වැඩසටහන ප්‍රශංසනීය බව නේපාලය, මාලදිවයින හා ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ෆාරීස් හැඩඩ් සර්වෝස් පවසනවා.

මේ වන විට සිදුකරගෙන යන වැඩ පිළිවෙල ඒ ආකාරයෙන්ම සිදුකරගෙන යන ලෙසත්, මෙය දේශපාලනය සිදුකරන කාලයක් නොවන බවයි කොළඹ දී ඊයේ (18) පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකාවට නැවතත් හිස එසවීම සඳහා මෙය සුදුසු කාලය බවත් නිවැරදි දේ සිදුකළ යුතු කාලයක් බවයි ෆාරීස් හැඩඩ් සර්වෝස් වැඩිදුරටත් සඳහන් කළේ.

සක්විති සහ බිරිඳ අධිකරණය හමුවේ වරද පිළිගනියි

මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් 164,185,000ක මුදලක් වංක ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ විසින් අද (19) කොළඹ මහාධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ සංශෝධිත චෝදනා පත්‍රය අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ කියවනු ලැබූ අතර අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බව විත්තිකරුවන් අධිකරණයට දන්වා ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ මුදල් මාසිකව රුපියල් ලක්ෂ 50 බැගින් වූ වාරික වශයෙන් ගෙවීමටත් එහි පළමු වාරිකය අද දිනයේ ගෙවන බවත් විත්තියේ නීතිඥවරු අධිකරණයට දන්වා තිබෙනවා.

සක්විති කන්ස්ට්‍රක්ෂන් සමාගම පවත්වාගෙන ගොස් එහි තැන්පතු වශයෙන් ඉදිරිපත් කර තිබූ 164,185,000ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර තිබුණා.

උතුරු පළාතේ නාඩු වී මිලදී ගැනීමේ ගැටලුවක් – වී අලෙවි මණ්ඩලය

ත්‍රිකුණාමලය, මඩකලපුව දිස්ත්‍රික්කවල මෙන්ම උතුරු පළාතේ නාඩු වී මිලදී ගැනීමේ ගැටලුවක් මතුව ඇති බව වී අලෙවි මණ්ඩලය පවසනවා.

ඒ අනුව එම ප්‍රදේශවල ගොවීන් දිග නාඩු නැමති වී ප්‍රභේදය වගා කිරීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ සඳහන් කළේ.

එම ගොවීන්ගෙන් වී මිලදී ගත්ත ද, සහල් බවට පත් කිරීමේදී ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

කංසා වගාකිරීමේ පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

කංසා ශාකය වාණිජ වගාවක් වශයෙන් සිදුකිරීමේ අරමුණින් ඊට අවශ්‍ය විධිවිධාන ඇතුළත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙනවා.

ආයුර්වේද වෛද්‍යවරු දෙදෙනකු වන කමල් බන්දුල වීරප්පෙරුම සහ ගල්හේනගේ නානායක්කාර විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර රජය විසින් පළාත් සභාවල අදහස් විමසීමක් සිදුකර නොමැති බවත් පළාත් සභාවල අදහස් විමසීමකින් තොරව අදාළ පනත් කෙටුම්පත සෘජුවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන උල්ලංඝනය වී තිබෙන බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

අම්බලන්තොට වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

අම්බලන්තොට, කොග්ගල්ල ප්‍රදේශයේ නිවෙසක අද (19) අලුයම සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 62ක පුද්ගලයෙක් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සෞඛ්‍ය ඇමතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගේනවා – සජිත්

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ අනුව අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

ජල සහ මලාපවාහන ගාස්තු සංශෝධනය කෙරේ

ජල සහ මලාපවාහන ගාස්තු සංශෝධනය කිරීම සඳහා අනුමැතිය ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අඩු ආදායම්ලාභී කාණ්ඩයන්ට සහ අධ්‍යාපනික, ආගමික හා පොදු ජල සැපයුම් ආශ්‍රිතව ලබා දී ඇති සමාජ ආරක්ෂණ පදනමට අවම බලපෑමක් වන පරිදි මෙම සංශෝධනය සිදු කිරීමට නියමිතයි.

ආරක්ෂිත ජලය හා සනීපාරක්ෂාව සඳහා ප්‍රවේශ වීමේ අවස්ථා පුළුල් කිරීම, සේවයේ ගුණත්මිකභාවය වැඩි දියුණු කිරිම සහ තිරසර ජල සම්පත් භාවිතයන් ක්‍රියාත්මක කිරීම ආදී අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකි වන පරිදි ජාතික ජල සම්පාදක හා මලාපවාහන මණ්ඩලයේ මූල්‍ය ශක්‍යතාව සහ තිරසරභාවය තහවුරු කර ගත යුතු බැවින් මෙම සංශෝධනය සිදුකරන බවයි අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

64b6579ca88d3

පාසැල්වල පළමු වාරය ජූලි 21 අවසන්

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරය ජූලි 21 වැනි දා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව දෙවන වාරයේ පළමු අදියර ජූලි 24දා ආරම්භ කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

අදාළ නිවේදනය පහතින්.

64b63c743a9c8

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් අයෙක් මරුට

උමාඔය ව්‍යාපෘති කාර්යාලයේ සේවකයන් ප්‍රවාහනය කළ බස්රථයක් අද (18) උදෑසන ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල උමා ඔය ව්‍යාපෘති කාර්යාලට නුදුරු ස්ථානයකදී ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්වී ඇති අතර එහි ගමන්ගත් තවත් 8 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි සඳහන් වන්නේ.

අද උදෑසන 7.15ට පමණ බස් රථය ගමන් ආරම්භ කළ බවත්, වේගයෙන් පැමිණි බස්රථයේ තිරිංග අක්‍රීය වීම හේතුවෙන් අනතුර සිදුවු බවයි එහි මගීන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.