ජනපති හා ඉන්දීය අගමැති හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා.

එහිදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ  ආර්ථික, යටිතල පහසුකම් සහ තාක්‍ෂණික ක්ෂේත්‍රයේ අත් කරගෙන ඇති ප්‍රගතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඇගයීමට ලක්වී තිබෙනවා.

මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අති දුෂ්කර කාල පරිච්ඡේදයන් හිදී  ඉන්දියාව ලබාදුන් නොසැලෙන සහයෝගය වෙනුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට සහ ඉන්දීය රජයට සහ ජනතාවට කෘතඥතාව පළ කරන බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ.

ප්‍රතිසන්ධානය සහ බලය බෙදීම සඳහා වූ පුළුල් සැලැස්මක් සහිතව සියලු පක්ෂ නායකයින්ට පොදු එකඟතාවකට පැමිණෙන ලෙස සිදු කළ ආරාධනය මෝදි අගමැතිවරයාගේ ඇගයීමට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කළේ.

ආනයන සීමා ඉවත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

තවත් භාණ්ඩ 300 කට වැඩි ප්‍රමාණයක ආනයන සීමා ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ ගැසට් නිවේදනය https://bit.ly/3Y3Pgn6

ජනපති සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් අතර හමුවක් සිදුව තිබෙනවා.

අද (21) පෙරවරුවේ දිල්ලි නුවරදී එම හමුව සිදුවී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපතිවරයා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් අතර හමුවක් සිදු වී තිබෙනවා.

දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (20) පස්වරුවේ ජනාධිපතිවරයා ඉන්දියාව බලා පිටත්ව ගියා.

සිය ඉන්දීය සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.

ලිට්‍රෝ සමාගමෙන් රු. බිලියන 1.5 ක් භාණ්ඩාගාරයට

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් සිය ලාභාංශ ලෙස රුපියල් බිලියන 1.5 ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත ලබාදෙන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.

ඒ අනුව ජනතාව වෙනුවෙන් ගෑස් සිලින්ඩරයක මිල අඩු කරන අතරම, ආයතනයද ශක්තිමත් කර සාධාරණ සුළු ලාභයක් ඉපැයූ බවයි ඔහු සඳහන් කළේ.

සිය මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා අද (20) දිනයේ එම මුදල මහා භාණ්ඩාගාරය වෙත ලබාදීමට පියවර ගන්නා බවයි මුදිත පීරිස් වැඩිදුටරත් සඳහන් කළේ.

ජොන්ස්ටන්ට එරෙහි නඩුවක් කැඳවීමට දින නියම කෙරේ

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය දින නියම කර තිබෙනවා.

එම නඩුව අද (20) කොළඹ මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කර තිබෙනවා.

ඒ අනුව නඩු විභාගය නොවැම්බර් මස 24 වන දා පැවැත්වීමට දින නියම කර ඇති බවයි සඳහන් වන්නේ.

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

ඩිල්මා සිලෝන් ටී නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි

ඩිල්මා සිලෝන් ටී නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වි තිබෙනවා.

මිය යන විට ඔහු 93 වන වියේ පසු වුණා.

මෙරට තේ කර්මාන්තය ජාත්‍යන්තරයට ගෙන යාම සඳහා විශාල සේවයක් කර ඇති ඔහු උසස්ම වර්ගයේ තේ නිර්මාණය කරමින් ලාංකීය තේ එකතුවක් ලොව පුරා ව්‍යාප්ත කර තිබෙනවා.

STF වෙඩි ප්‍රහාරයකින් සැකකරුවෙක් මරුට

මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්යය බළකාය සමඟ ඇති වු වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (19) රාත්‍රී මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

විශේෂ කාර්යය බළකා නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහු ටී-56 ගිනි අවියකින් වෙඩි තබා ඇති අතර එහිදී විශේෂ කාර්යය බළකා නිලධාරීන් ද වෙඩි තබා ඇත. ඉන් තුවාල ලැබු සැකකරු මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ජනපති අද ඉන්දියාවට

දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඉන්දීය රජය හා මෙරට අතර ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති ශ්‍රීමතී ද්‍රෞපදී මුර්මු හා අගමැති ඇතුළු පිරිසක් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

2022 උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු මාසයේ නිකුත් කිරීමට හැකිවේවි – අධ්‍යාපන අමාත්‍යාංශය

2022 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසයේ දී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව පිළිතුරු පත්‍ර ඇගයීම් ක්‍රියාවලිය මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.

මේ අතර 2023 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අයදුම්පත් කැඳවීම ද ජුලි මස 28 වන දින අවසන් වීමට නියමිත බවද, අදාළ දිනයෙන් පසු අයදුම්පත් භාර නොගන්නා බවද අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

64b7b869834cc