ප්‍රංශ ජනාධිපති ශ්‍රී ලංකාවේ සංචාරයක

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් හෙට (28) ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරය කරනු ලබන පළමු අවස්ථාව මෙය ලෙසයි සඳහන් වන්නේ.

මෙම කෙටි සංචාරයේදී ප්‍රංශ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී ද්වීපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළාත් සභා සඳහා බලතල ලබාදීමට පෙර මැතිවරණය පැවැත්විය යුතුයි – රතන හිමි

පළාත් සභා සඳහා බලතල ලබාදීමට කටයුතු කරන්නේ නම් අත්හිටුවා ඇති පළාත් සභා මැතිවරණය පළමුවෙන් පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසනවා.

ඊයේ (26) පැවති සර්ව පාක්ෂික සමුළුව අගක් මුලක් නැති සමුළුවක් බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම්වරයාද බලය බෙදීම සම්බන්ධයෙන් එකඟතාවක් නොමැති බවට ප්‍රකාශ කළ බවයි උන්වහන්සේ සඳහන් කළේ.

ජනාධිපතිවරයා උතුරට බලතල ලබාදීමට කටයුතු කරන්නේ එළඹෙන ජනාධිපතිවරණයේදී උතුරේ ජනතාවගේ ඡන්දය තීරණාත්මක වනු ඇති බවට ජනාධිපතිවරයාගේ විශ්වාසය නිසා බවද අතුරලියේ රතන හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් අවසන් අදියරේ – අධ්‍යාපන ඇමති

උසස් පෙළ පිළිතුර පත්‍ර ඇගයීම් අවසන් අදියරට පැමිණ ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

එමෙන්ම සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ද ආරම්භ කිරීමට නියමිත බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම වසරේ අගෝස්තු පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය නොවැම්බර් මාසයේ පැවැත්වීමට දින යොදා ඇති බවත්, 2023 සාමාන්‍ය පෙළ විභාගයද ලබන වසරේ සිංහල අලුත් අවුරුද්දට පෙර පවත්වන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

පිළිකා රෝග ව්‍යාප්තියේ වැඩිවීමක්

මේ වන විට රට තුළ පිළිකා රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසනවා.

ශ්‍රී ලංකාවේ දෙවැනියට වැඩියෙන් මරණ සිදුවන්නේ පිළිකා රෝගයෙන් බවයි එහි අධ්‍යක්ෂ ප්‍රජා දන්ත විශේෂඥ ඉෂානී ප්‍රනාන්දු සඳහන් කළේ.

ඒ අනුව 2019 වසරේ පුද්ගලයින් 15,599 ක් මිය ගොස් ඇති අතර 2020 වසරේ නව පිළිකා රෝගීන් 37,649 ක් හඳුනාගෙන ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.

මුඛ පිළිකා පිරිමින් අතර තිබෙන ප්‍රධානතම පිළිකා වර්ගය බවත් රට තුළ මීට වඩා දුම්කොළවලට විරුද්ධව වැඩ කටයුතු කළ යුතු බවයි ප්‍රජා දන්ත විශේෂඥ ඉෂානී ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේ.

රාජකුමාරි පිළිබඳ මරණ පරීක්ෂණයේ තීන්දුව අගෝස්තු 25 ප්‍රකාශයට පත් කරයි

පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය බවට සඳහන් වූ ආර්. රාජකුමාරි නමැති කාන්තාවගේ මියයෑමට අදාළ මරණ පරීක්ෂණයේ තීන්දුව අගෝස්තු මස 25 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පවසනවා.

වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇය එලෙස සැක සහිත ලෙස මියගොස් තිබු අතර මෙම පරීක්ෂණය අද (26) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවා තිබෙනවා.

ඒ අනුව මෙම මරණ පරීක්ෂණයට අදාළව සිදු කෙරුණු සාක්ෂි විභාගය අද අධිකරණය හමුවේ අවසන් කෙරුණු අතර ඉන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

අන්තරේට පොලීසියෙන් ජල ප්‍රහාරයක්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කර තිබූ විරෝධතාවයකට කොළඹ ලිප්ටන් වටරවුම ප්‍රදේශයේදී පොලීසිය ජල ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

සිරගත කර ඇති ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනෙක් නිදහස් කරන ලෙස ඉල්ලා ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වී ඇති බවයි සඳහන් වන්නේ.

කාර්යක්ෂම සහ ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට “ඊ-බස්රථ” නියමු ව්‍යාපෘතියක්

කාර්යක්ෂම සහ ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට විදුලියෙන් ධාවනය වන  බස් රථ යොදාගෙන නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තිරණය කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

ඒ අනුව විදුලියෙන් ධාවනය වන  බස් රථ 50 ක් යොදාගෙන මෙම “ඊ-බස්රථ” නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ලක්දිව ඉංජිනේරු ආයතනය මගින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමතය ද හිමිව තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

මැනිං වෙළෙඳපොළේ විරෝධතාවක නිරත වූ පිරිසක් අත්අඩංගුවට

අධිකරණ නියෝගයක් කඩකරමින් පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ විරෝධතාවයක නිරත වූ පිරිසක් අද (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැනිං වෙළෙඳපොළේ කඩ කාමර බාහිර පාර්ශව වෙත ලබාදීමට එරෙහිව ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර තිබූ බවයි මැනිං පොදු වෙළඳ සංගමයේ සභාපති එච්.එම්. උපසේන සඳහන් කළේ.

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ අද පැවැත්වෙන උද්ඝෝෂණය වළක්වාළමින් ඊයේ (25) අධිකරණය විසින් නියෝග කර තිබූ අතර ඔවුන් එය නොතකමින් විරෝධතාවයේ නිරත වුණා.

පසුව පොලීසිය විසින් විරෝධතාවයේ නිරත වූ මැනිං පොදු වෙළඳ සංගමයේ සභාපතිවරයා ඇතුළු 12 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රජයේ මිනින්දෝරු නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

රජයේ මිනින්දෝරු නිලධාරීන් ලෙඩ නිවාඩු වාර්තා කරමින් අද (26) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මේ වනවිට උද්ගතවී ඇති මානව හා සම්පත් ගැටලුව ඇතුළු තවත් ගැටලු කිහිපයකට විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් එම ක්‍රියාමාර්ගය ආරම්භ කළ බව රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද උඳුගොඩ සඳහන් කළේ.

අද පැවැත්වෙන විරෝධතාවට ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් යළිත් අගෝස්තු 02 වනදා ලෙඩ නිවාඩු වාර්තා කර උද්ඝෝෂණයක් පවත්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට නව උප කුලපතිවරයෙක් පත් කෙරේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම්. මානගේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කර තිබෙනවා.

ඒ අනුව වසර තුනක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙම පත්වීමට පෙර මහාචාර්ය මානගේ උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.