ETF සහ EPF ණය කැපීමට එරෙහි පෙත්සම් සලකා බැලීම අගෝස්තු 09 දක්වා කල් තබයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල විසින් ණය වශයෙන් රජයට ලබාදී තිබෙන මුදල් කපාහැරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම අගෝස්තු 09 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

අන්තර් සමාගම් සේවක සංගමය සහ එහි සභාපති  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

සේවක අර්ථසාධක අරමුදලේ තැන්පත් කර ඇති මුදල්වලින් 93%ක් සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල තැන්පත් කර ඇති මුදල් වලින් 86%ක් රජයේ භාණ්ඩාගාර බිල්පත් හා මහ බැංකු බැඳුම්කරවල ආයෝජනය කර තිබෙන බවයි ඔවුන් සිය පෙත්සම මඟින් පෙන්වා දෙන්නේ.

එසේ රජය විසින් සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලේ සහ සේවක අර්ථසාධක අරමුදලෙන් ලබාගත් ණය කපා හැරීම තුළින් මිලියන විස්සකට අධික වැඩ කරන ජනතාවකට දැඩි අසාධාරණයක් සිදුවන බවද ඔවුන් අදාළ පෙත්සමෙන් පෙන්වා දෙනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සැප්තැම්බර්වලට පෙර අවසන් කරනවා – මුදල් රාජ්‍ය ඇමති

මේ වසරේ සැප්තැම්බර් මාසයට යෙදී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ඇගයීමට පෙර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව එම සාර්ථක පළමු ඇගයීම තුළින් ශ්‍රී ලංකාව ස්ථායිකරණ මට්ටමේ සිට 2024 වසරේ පටන් වර්ධන මාවතකට යොමු කිරීමට පදනම සකසන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

වර්ධනය උත්තේජනය කරලමින් ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ප්‍රධාන ක්ෂේත්‍රයන්හි ආයෝජන ඉහළ නැංවීමට පියවර ගන්නා බවත් එහිදී ශ්‍රී ලංකාව නැවතත් ආයෝජන සහ ව්‍යාපාර සඳහා ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් බවට පත්වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

CPA AUSTRALIA ගණකාධිකරණ අධ්‍යයන ආයතනයේ උත්සවයක් අමතමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මේ බව සඳහන් කළා.

අජිත් රෝහණගේ පෙත්සම සලකා බැලීම කල්යයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 04 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ට ලබාදී තිබෙන ස්ථාන මාරුව බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඔහු මෙම පෙත්සම ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ.

වෙනත් නඩු විභාගයක් අද (03) දින පැවැත්වීමට නියමිත හෙයින් මෙම පෙත්සම සලකා බැලීම කල් තබන බවයි විනිසුරු මඬුල්ල සඳහන් කළේ.

ගෑස් මිල සම්බන්ධයෙන් හෙට ප්‍රකාශයක්

මිල සූත්‍රය අනුව නව ගෑස් මිල සම්බන්ධයෙන් දැනුම්දීම හෙට (04) දිනයේ සිදුකිරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසනවා.

ඒ අනුව ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මෙට්‍රික් ටොන් 1ක මිල ඩොලර් 85කට වඩා ඉහළ ගොස් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කොමිෂන් සභා දෙකක පුරප්පාඩු සඳහා අනුමැතිය ලබාදීම තවදුරටත් කල් යයි

කොමිෂන් සභා දෙකක පවතින පුරප්පාඩු සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබාදීම තවදුරටත් කල් දමා ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා මේ මස 22 වන දින යළි ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ව්‍යවස්ථාදායක සභාව ඊයේ (02) රැස්වූ අතර එහිදී දැනට පුරප්පාඩුව පවතින මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනා සහ පොලිස් කොමිෂන් සභාවේ පුරප්පාඩු සාමාජිකයා පත්කිරීම පිළිබඳව අනුමැතිය ලබාදීමට නියමිතව තිබුණා.

හෙට පැවැත්වීමට තිබූ සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට (03) දිනයේ සිදුකිරීමට නියමිතව තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා විසින් අද (02) දිනයේ සාකච්ඡාවක් ලබාදීම හේතුවෙන් වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවයි සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති, රවි කුමුදේශ් සඳහන් කළේ.

සෞඛ්‍ය සේවාවට අදාළ ගැටලු මාධ්‍යයට නිරාවරණය කිරීම තහනම් කරමින් සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කරන ලද චක්‍රලේඛයට එරෙහිව සෞඛ්‍යය වෘත්තිය සමිති හෙට දිනයේ දී වැඩ වර්ජනයක් සිදුකිරීමට සැලසුම් කර තිබුණා.

දේශපාලකයින්ට සහ පුද්ගලයින්ට අවශ්‍ය පරිදි සහනාධාර ලබා දෙන ක්‍රමවේදය අවසන් – ශෙහාන් සේමසිංහ

දේශපාලකයින්ට සහ පුද්ගලයින්ට අවශ්‍ය පරිදි සහනාධාර ලබා දෙන ක්‍රමවේදය අවසන් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

නියම දුප්පතුන්ට සහන ලබාදෙන විට එයට විරුද්ධ වන්නේ මුදල් ඇති පිරිස් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

එක් එක් දේශපාලන පක්ෂවලට, පුද්ගලයින්ට කැමති ආකාරයට සුබසාධන ඉවත් කිරීමට සහ ලබාදීමට හැකියාව තිබූ ක්‍රමවේදය ඉවත් කර ඇති බවත් වසර 25 ක් පැරණි ක්‍රමවේදයක් වෙනස් කර නව ක්‍රමවේදයක් හඳුන්වාදීමේදී අඩුපාඩු පැමිණිය හැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

රටේ සුබසාධන දීමනා ලැබිය යුතු සුදුසුම කණ්ඩායමට සුබසාධන දීමනා වැඩි වශයෙන් ලබාදෙන්න කටයුතු කරන බවත් සමෘද්ධි ව්‍යාපාරය කප්පාදුවකට ලක් නොවන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

රට බංකොලොත් වීමට හේතු සොයන කාරක සභාව හමුවට විශ්ව විද්‍යාලවල ආර්ථික විද්‍යා අධ්‍යයන අංශවල ප්‍රධානීන් කැඳවයි

රට බංකොලොත්භාවයට පත්වීමේ හේතු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට සියලු විශ්ව විද්‍යාලවල ආර්ථික විද්‍යා අධ්‍යයන අංශවල ප්‍රධානීන් අද (02) කැඳවා තිබෙනවා.

ඒ අනුව කාරක සභාවේ කටයුතු සඳහා මාර්ග සිතියමක් සකසා ගැනීම හා ඊට උපදෙස් ලබා ගැනීම මෙහි අරමුණ බවයි එහි සභාපති නීතිඥ සාගර කාරියවසම් සඳහන් කළේ.

රට බංකොලොත්භාවයට පත්වීමේ හේතු සෙවීම සඳහා එම පාර්ලිමේන්තු කාරක සභාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය මස 6 වනදා පත් කළා.

ඔක්තෝම්බර් තෙක් ප්‍රමාණවත් වැසි නැහැ – කාලගුණ දෙපාර්තමේන්තුව

ඔක්තෝම්බර් මාසය වන තෙක් ප්‍රමාණවත් වැසි නොලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිරිතදිග මෝසම ද ප්‍රමාණවත් පරිදි නොලැබුණු බවයි එහි අධ්‍යක්ෂිකා ශිරෝමනී ජයවර්ධන සඳහන් කළේ.

පවතින වියළි කාලගුණයත් සමග ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින අතර ජලාශවල ධාරිතාව 33.3% ක් දක්වා පහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂිකා සුදර්ශනී විදානපතිරණ සඳහන් කළේ.

මහවැලි ජලාශ පද්ධතියේ ධාරිතාව ද 34% ක් දක්වා පහළ ගොස් ඇති අතර මේ හේතුවෙන් ජල විදුලි ජනනය සමස්ත විදුලි ජනනයෙන් 16% ක් දක්වා පහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල සඳහන් කළේ.

මැතිවරණ ප්‍රතිඵල අවලංගු කිරීමට උත්සාහ දැරීම ගැන ට්‍රම්ප්ට අධිචෝදනා

2020 අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල අවලංගු කිරීමට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ දැරීම සම්බන්ධයෙන් එරට අධිකරණයක් මඟින් අධිචෝදනා ගොනුකර තිබෙනවා.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පිටු 45කින් යුත් අධිචෝදනා පත්‍රයේ චෝදනා හතරක් ගොනුකර ඇති බවයි.
කෙසේ වෙතත් හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.