රට තුළ ඖෂධ වර්ග 245 ක හිඟයක්

මෙරට තුළ ඖෂධ වර්ග 245 ක හිඟයක් මේ වන විට පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව ක්‍රියාමාර්ග 3ක් යටතේ එම ඖෂධ ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක සඳහන් කළේ.

ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට පියවර

ජල ගාස්තු සඳහා ඉදිරියේදී මිල සූත්‍රයක් හදුන්වාදීමට පියවර ගන්නා බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව ජලය පිරිපහදුව සඳහා වැයවන විදුලි ගාස්තු, රසායන ගාස්තු, ද්‍රව්‍ය ඇතුළු පිරිවැය මත පදනම්ව එම මිල සුත්‍රය සකස් කරන බවද, ඊට අනුකූලව මාස 6කට වරක් ජල ගාස්තු සංශෝධනයට පියවර ගන්නා බවද එම අමාත්‍යංශයේ ලේකම් ආර්. එම්. ඩබ්ලිව්. එස්. සමරදිවාකර පවසනවා.
ඉදිරියේදී විදුලි බිල අඩු වුවහොත් ජල බිලද අඩුවිය හැකි බව ඔහු වැඩි දුරටත් සඳහන් කරනවා.

ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයට නව කුලපතිවරයෙක්

ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධූරය සඳහා සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය පත්කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වසර 5 ක කාලයක් සඳහා අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ප්‍රවීණ මාධ්‍යවේදී ලාල් සරත් කුමාර දැයෙන් සමුගනියි

ප්‍රවීණ මාධ්‍යවේදියෙක්, හඬකැවීම් ශිල්පියෙක් හා රංගන ශිල්පියෙක් වන ලාල් සරත් කුමාර මහතාගේ අවසන් කටයුතු අද (04) සිදුකරනවා.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සහන නිවේදකයෙක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන ඔහු වැඩසටහන් නිෂ්පාදකයෙක්, රංගන ශිල්පියෙක්, හඬකැවීම් ශිල්පියෙක්, රූපවාහිනී නිවේදකයෙක් ආදී විවිධ භූමිකාවලට දායක වී තිබෙනවා.

හඬකැවීම් ශිල්පියෙකු ලෙස ඔහු ලොකු කුඩා කා අතරත් ජනප්‍රියතාවට පත්වූ අතර ඔහු විසින් හඬ කැවූ චරිත අතර සූරපප්පා කාටූන් මාලාවේ සීසර් සහ අධිරජ ධර්මාශෝක ටෙලිනාට්‍යයේ චානක්‍ය චරිත ඉමහත් ජනාදරයට පත්වුණා.

ලාල් සරත් කුමාර මහතා පසුගිය අගෝස්තු 01 වනදා අභවප්‍රාප්ත වූ අතර ඔහු මිය යන විට 68 වන වියේ පසු වුණා.

මිහින්තලාවට පැමිණෙන පිරිස් ඇඳිරි වැටීමට පෙර පැමිණෙන්න – මිහින්තලා විහාරාධිපති

විදුලිය විසන්ධි කර ඇති බැවින් මිහින්තලා පුදබිමට පැමිණෙන පිරිස් ඇඳිරි වැටීමට පෙර පැමිණෙන ලෙස මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා.

විදුලිය විසන්ධි කර තිබීම හේතුවෙන් ඊයේ (03) රාත්‍රියේ පැමිණි විදෙස් සංචාරකයන් පිරිසක් පන්දම් දල්වා ගනිමින් එහි නැරඹුම් ස්ථාන නිරික්ෂණය කළ බවයි උන්වහන්සේ සඳහන් කළේ.

2022 වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා රුපියල් ලක්ෂ 41ක විදුලි බිලක් නොගෙවීම හේතුවෙන් විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් විසින් ඊයේ මිහින්තලා පුජා භුමියේ විදුලිය විසන්ධි කිරීමට කටයුතු කර තිබුණා.

නියං තත්ත්වය ගැන ගොවි ජනතාව දැනුවත් නොකිරීම ගැන අදාළ සියලු අංශ වගකීම භාරගත යුතුයි – කෘෂිකර්ම ඇමති

යල කන්නයේ දී දරුණු නියං තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බවට වන පණිවිඩය ගොවි ජනතාවට ලබා නොදීමේ වගකීම ඊට අදාළ සියලු අංශ විසින් භාරගත යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මෙවර යල කන්නයේ දී දරුණු නියං තත්ත්වයකට මුහුණ දීමට සිදුවිම මෙන්ම ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කළ යුතු බවට ගොවි ජනතාවට කිසිදු අංශයකින් දැනුම්දීමක් සිදුකර නොතිබූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙම නියඟය හා ජල හිඟය සම්බන්ධව ගොවි ජනතාව දැනුවත් නොකිරීමේ වගකීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය මෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු සියලු අංශ බාර ගත යුතු බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළේ.

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් නෑ – ලිට්‍රෝ සභාපති

ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.

ඒ අනුව ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාමක් සිදු වුවද ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බවයි අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට අවධානය

තවත් භාණ්ඩ 300 ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව සැප්තැම්බර් පළමු සතිය වන විට එය සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

තඹුත්තේගම අනතුරකින් පුද්ගලයින් 4 ක් මරුට

තඹුත්තේගම ඒරියාගම ප්‍රදේශයේදී අද (04) අලුයම සිදුවූ අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තිබෙනවා.

අනතුරෙන් තවත් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කුරුණෑගල දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ නතර කිරීමට යෑමේදී එම දිශාවටම ධාවනය වූ වෑන් රථයක් ලොරි රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

මාස හයක් තුළ ආචාර්යවරුන් 600 ක් විශ්ව විද්‍යාල හැර ගිහින් – විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය

විශ්ව විද්‍යාල තුළ විශාල වශයෙන් බුද්ධි ගලනයක් සිදුවෙමින් පවතින බව විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය පවසනවා.

ඒ අනුව පසුගිය මාස 06 තුළ පමණක් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 600ක් පමණ විශ්ව විද්‍යාල හැර ගොස් ඇති බවයි එහි සභාපති මහාචාර්ය බරණ ජයවර්ධන සඳහන් කළේ.

පවතින තත්ත්වය මත 4000 ක පමණ පුරප්පාඩු ඇතිවී ඇති බවත් මේ හේතුවෙන් ඇතැම් පීඨ පවත්වාගෙන යෑම පිළිබඳ ගැටලු මතුවී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් තවමත් නිසි විසඳුමක් නොලැබී ඇති බවත් ගැටලුවලට විසඳුම් නොලැබෙන්නේ නම් ඉදිරියේදී දැඩි තීරණ ගන්නා බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.