කඳානේ ගින්නෙන් පාසල් ළමුන් 60ක් රෝහලට ඇතුළත් කෙරේ

කඳාන ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගබඩාවක අද (08) පෙරවරුවේ හටගත් ගින්නත් සමඟ ඇතිවූ දුම ආඝ්‍රාණය වීමෙන් අවට පාසල් 3 ක සිසු සිසුවියන් 60කට අධික පිරිසක් රෝගී වී රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

කඳාන දැවතොටුපල පාර ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකට අයත් ගබඩාවක අද උදෑසන 7.30ට පමණ මෙම ගින්න හටගෙන තිබුණා.

ගින්න හටගන්නා අවස්ථාවේ එක් පුද්ගලයෙක් පමණක් කර්මාන්ත ශාලාවේ සිට ඇති අතර ගින්නට හසුවීමෙන් ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.

කර්මාන්ත ශාලාවේ හටගත් ගින්නෙන් පසු එහි දුම ප්‍රදේශය පුරා පැතිර ගොස් තිබූ අතර කර්මාන්ත ශාලාවට නුදුරින් පිහිටි පාසල් 3කටද දුම ව්‍යාප්ත වී සිසුන් 60කට අධික පිරිසකට ස්වසන අපහසුතා ඇති වී රාගම රෝහල වෙත ඇතුළත් කර තිබුණා.

EPF පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ සේවක අර්ථසාධක අරමුදල සතු භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රශස්තකරණයට ලක් වීම තුළින් එම අරමුදලේ සාමාජිකයින්ගේ විශ්‍රාමික ගෙවීම් සහ ප්‍රතිලාභවලට බලපෑමක් නොවන අයුරින් එකී ගෙවීම් සහ ප්‍රතිලාභ තහවුරු කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගෙන ඇති බවද අදාළ කැබිනට් තීරණයේ දැක්වෙනවා.

පසුගිය වසර පහක කාලය තුළ සේවක අර්ථසාධක අරමුදලෙහි සාමාජිකයින් සඳහා ගෙවනු ලැබූ වාර්ෂික පොලී ප්‍රතිලාභ ප්‍රතිශතයන් සැලකිල්ලට ගෙන 2023 – 2026 කාලය දක්වා ඉදිරි වසර හතරක (04) කාලය තුළ දායකත්ව මුදල් මත හිමි වන වාර්ෂික පොලි අනුපාතය අවම වශයෙන් 9%ක් විය යුතු බවට නියම කෙරෙන පරිදි 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

64d1fb52a14a2

විදුලි කප්පාදුවක් සඳහා කිසිදු සැලසුමක් නැහැ – කංචන

රට තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කර ඇති බවත් ඉදිරියේ දී විදුලි කප්පාදුවක් සඳහා කිසිදු සැලසුමක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව පැය 24 පුරා අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යෑමට අවශ්‍ය අතිරේක විදුලිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් සපයා ගන්නා බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ Twitter පණිවිඩය පහතින්.

64d1fcb9e4421

මහ බැංකු පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිසක් අත්අඩංගුවට

බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ඇතුළු පිරිස අතරින් පුද්ගලයින් 09 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ඇතුළු වී විරෝධතාවක නිරතවූ අතර එහිදී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණා.

දකුණු පළාතට අඛණ්ඩ විදුලිබල සැපයුමක් ලබාදීමට විදුලිය මිලදී ගැනීමට සිදුවනවා – කංචන

අගෝස්තු 15 වනදා සිට දකුණු පළාතට අඛණ්ඩ විදුලිබල සැපයුමක් ලබාදීමට විදුලිය මිලදී ගැනීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව දකුණු පළාතට විදුලිය මිලදී ගැනීමට ඇත්තේ බලාගාර 3 ක් පමණක් බවත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළින් එය සිදු කිරිමට බලාපොරොත්තු වන බවයි අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

පවතින ජල ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කළා.

සමනළ වැවෙන් කෘෂිකර්මාන්තයට ජලය නිකුත් කිරීමට අවසර

කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය කරන ජල ධාරිතාව සමනළ වැව ජලාශයෙන් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
ජාතික විදුලි බල අවශ්‍යතාවය සඳහා විකල්ප ක්‍රමවේද සෙවීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

විදුලි ගාස්තු සංශෝධනය සිදු වන්නේ රජයේ ප්‍රතිපත්තියට අනුව පමණයි – කංචන

ජනමාධ්‍ය සඳහන් කරන ආකාරයේ විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව සිය Twitter ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ, රජයේ ප්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජනවාරි මාසයේදී සහ ජූලි මාසයේදී විදුලි ගාස්තු සංශෝධනය සිදුවන බවයි.
මේ අතර විදුලි කප්පාදුවකින් තොරව වසර පුරා අඛණ්ඩව දිවයින පුරා විදුලිය සැපයීමට ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර ඇති බවත් දැනට පවතින බලාගාරවල සම්පූර්ණ ධාරිතාවය විදුලිය උත්පාදනය සඳහා භාවිතා වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අදාළ Twitter පණිවිඩය පහතින්.

64d0d641933c8

ජලය නිදහස් කිරීම ගැන විදුලිබල මණ්ඩලයේ සහ වාරිමාර්ගයේ යෝජනා අද කැබිනට් මණ්ඩලයට

විදුලිබල මණ්ඩලය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව අතර හමුවක් ඊයේ (06) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා.
ඒ අනුව සමනළ වැව ජලාශයෙන් කෘෂිකාර්මික සහ වාරිමාර්ග කටයුතු වෙනුවෙන් අවශ්‍ය ජලය නිදහස් කිරීමට සහ අඛණ්ඩව විදුලි බලය ලබා දීමේ ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කිරීම වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ.
එහිදී ගත් තීරණ අනුව විදුලිබල මණ්ඩලය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සාකච්ඡා කල සහ යෝජනා කරන විසඳුම් අද (07) සවස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි සඳහන් වන්නේ.
එම යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක, විදුලිබල මණ්ඩලයේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සහභාගී වූ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

උඩවලව ජලාශයේ සක්‍රීය ජල මට්ටම 0.45% ක් දක්වා පහළට

මෑත ඉතිහාසයේ උඩවලව ජලාශයේ සක්‍රීය ජල මට්ටම පහළ ගිය අඩුම ජල මට්ටම අද (07) වාර්තාවී තිබෙනවා.
උඩවලව ජලාශයේ සක්‍රීය ජල මට්ටම 0.45% ක් දක්වා පහළ ගොස් ඇති බවයි මහවැලි අධිකාරිය සඳහන් කළේ.
ඒ අනුව අක්කර අඩි 217,800 ක සමස්ත ජල ධාරිතාවක් දැරිය හැකි උඩවලව ජලාශයේ සක්‍රීය ජල මට්ටම අක්කර අඩි 956 ක් දක්වා පහළ බැස ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

පුහුණු ගුවන්යානයක් කඩා වැටීමෙන් දෙදෙනෙක් මරුට

ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් ත්‍රිකුණාමලය චීන වරාය කඳවුරු ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා.
ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා යොදාගනු ලබන PT 6 වර්ගයේ ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි ගුවන් හමුදාව සඳහන් කළේ.
ගුවන් පරීක්ෂණ කටයුත්තක් සඳහා අද (07) උදෑසන 11.25ට පමණ චීන වරාය ගුවන් පථයෙන් ගුවන් ගත වී ඇති යානය 11.27 ට පමණ ගුවන් හමුදා චීන වරාය කඳවුරු ප්‍රදේශයට කඩා වැටී තිබෙනවා.
අනතුරින් ගුවන් නියමුවා සහ ගුවන් පරීක්ෂණ රාජකාරි සඳහා එහි ගමන් කළ ඉංජිනේරු නිලධාරියා මියගොස් ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළා.