දුමින්ද නාගමුවට CIDයෙන් කැඳවීමක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශය වෙත කැඳවා තිබෙනවා.
ලබන 12 වෙනිදා උදෑසන 9.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයේ පෙනී සිටින ලෙසයි කොටුව මහෙස්ත්‍රාත්වරයා ඔහුට දැනුම්දී ඇත්තේ.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් මෙම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් භාවිතා කරන උපකරණ සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කෙරේ

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් භාවිතා කරන උපකරණ සහ දේශීය සහල් නිෂ්පාදනය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කර තිබෙනවා.

Twitter පණිවිඩයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ බව නිවේදනය කර තිබෙනවා.

අදාළ Twitter පණිවිඩය පහතින්.

64f830d90d2e2

Channel 4: තවුහීද් ජමාත් සාමාජිකයෙක් සහ සුරේෂ් සලේ අතර හමුව සංවිධානය කළේ මම – අසාද් මවුලානා

පාස්කු ප්‍රහාරය පිළිබඳ විශේෂ හෙළිදරව්වක් සහිත වාර්තා වැඩසටහනක් බ්‍රිතාන්‍යයේ Channel 4 නාළිකාව ඊයේ (05) රාත්‍රීයේ විකාශය කර තිබෙනවා.

එම වැඩසටහනට එක් වෙමින් පළමු වරට හෙළිදරව්වක් සිදුකරන අසාද් මවුලානා නැමැත්තෙකු පවසන්නේ, පාස්කු ප්‍රහාරයට පෙර තවුහීද් ජමාත් අන්තවාදී සංවිධානයේ සාමාජිකයෙක් සහ හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ අතර හමුවක් සංවිධානය කළේ තමන් විසින් බවයි.

පිල්ලෙයාන් හෙවත් රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ සහයකයෙකු සහ භාෂා පරිවර්තකයෙකු ලෙස කටයුතු කර ඇති අසාද් මවුලානා නැමැත්තා, පිල්ලෙයාන් විසින් සිදුකළ ඉල්ලීමක් අනුව එම හමුව සංවිධානය කළ බවද, එම හමුවට පෙර සයීනි මවුලවි නැමැත්තා හමුවන ලෙස තමාට උපදෙස් ලැබුණු බවද ඔහු හෙළදරව් කරනවා.

සයීනි මවුලවි නැමැත්තා පාස්කු ප්‍රහාරයේ මූලිකයා වූ සහරාන්ගේ සොහොයුරා බව පසුව දැනගත් බවද Channel 4 වැඩසටහනේදී ඔහු පවසනවා.

අදාළ හමුවෙන් අනතුරුව තමා වෙත පැමිණි හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ විසින්, රාජපක්ෂවරුන්ට රට තුළ අනාරක්ෂිත තත්ත්වයක් ඇති කිරිමට අවශ්‍ය වී ඇති බවත්, ගෝඨාභය රාජපක්ෂට බලයට පැමිණිය හැකි එකම මඟ එය බවත්, තමන් සමඟ ප්‍රකාශ කළ බවද ඔහු සඳහන් කරනවා.

මෙම චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ පිල්ලෙයාන් ප්‍රතිචාර නොදැක්වූ බවද, හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මෙයට ප්‍රතිචාර දක්වමින් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කළ බවද Channel 4 වාර්තා වැඩසටහන සඳහන් කරනවා.

OnmaxDT අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුගේ කෝටි 62ක දේපළ තහනම් කෙරේ

නීති විරෝධී පිරමීඩ යෝජනා ක්‍රමයක් පවත්වාගෙන ගිය OnmaxDT සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන සම්පත් සඳරුවන්ට හිමි රුපියල් කෝටි 62 කට අධික වටිනාකමින් යුතු දේපළ අන්සතු කිරීම, විකිණීම, පැවරීම තහනම් කර තිබෙනවා.

මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් OnmaxDT සමාගම සම්බන්ධයෙන් මෝසමක් මගින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වෙත කරුණු දැක්වීමක් සිදුකර තිබුණා.

එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කරන ලද ගිණුම්වල රුපියල් කෝටි 79ක මුදලක් තිබෙන බවට බැංකු ගිණුම් වාර්තා අනුව තොරතුරු අනාවරණය වන්නේ යැයි විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.

ඒ අනුව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන සම්පත් සඳරුවන්ගේ බැංකු ගිණුම් 16ක කෝටි 55ක් ද, අතුල ඉන්දිකගේ බැංකු ගිණුමේ කෝටි 2ක් ද, ධනංජය ජයනාත්ගේ බැංකු ගිණුමේ කෝටි 11ක් ද, සාරංග ජයනාත්ගේ බැංකු ගිණුමේ කෝටි 18ක් ද, ගයාෂාන්ගේ බැංකු ගිණුමේ කෝටි 2ක් ද ඇති බවට බැංකු ගිණුම් අනුව තොරතුරු අනාවරණය වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

OnmaxDT පිරමීඩ යෝජනා ක්‍රමයට මහජනතාවගෙන් එක්රැස් කරගත් මුදල් ගලා යන අවසාන මුදල් ගිණුම ඕස්ට්‍රේලියානුවකුගේ නොව ශ්‍රී ලාංකික පුද්ගලයකුගේ බවට තොරතුරු අනාවරණය වී ඇති බවද වාර්තා වනවා.

විද්‍යුත් ​ත්‍රිරෝ​ද රථ ලියාපදිංචියට ප්‍රතිපාදන සැලසේ

විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමට පවතින බාධාවන් ඉවත් කරමින් මෝටර් වාහන පනත සංශෝධනය කිරීම සඳහා පසුගිය වසරේ අගෝස්තු 08 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබූ බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

එම අනුමැතිය පරිදි අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

64f6e8bb29766

ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමට අදාළ කාරක සභාවේ සාමාජිකත්වයෙන් මන්ත්‍රීවරුන් 3 ක් ඉල්ලා අස්වෙයි

මහාචාර්ය රංජිත් බණ්ඩාර, එස්.බී. දිසානායක සහ ධම්මික පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව මේ හේතුවෙන් ඇතිවූ පුරප්පාඩු සඳහා නිමල් ලාංසා, නාලක බණ්ඩාර කොට්ටේගොඩ සහ මංජුලා දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම කාරක සභාවේ සාමාජිකයන් ලෙස නම් කර ඇති බවයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.

ලංගම සහ දුම්රිය ප්‍රවේශපත්‍ර වෙනුවට ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීම කඩිනම් කෙ​රේ

ලංගම බස්රථ හා දුම්රිය ප්‍රවේශපත්‍ර වෙනුවට ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමේ කටයුතු කඩිනමින් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

රජයට අයත් මගී ප්‍රවාහන සේවාවන් පාඩු ලැබීමට අධික වියදම් හා සේවකයින් සිදුකරන විවිධ වංචා දූෂණ හේතුවී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව මේ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම සතිය තු​ළ කෝප් කමිටුවට ආයතන කිහිපයක් කැඳවයි

මෙම සතිය තුළ ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද වරාය අධිකාරියේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

හෙට (06) මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා

උසස් පෙළ දිවයිනේ ප්‍රථම ස්ථාන ලබා ගත් සිසුන්

2022 (2023) උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (04) නිකුත් වූ අතර දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන්ද මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව 2022 (2023) උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සමුදිත නයනප්‍රිය හිමිකරගෙන තිබෙනවා.

වාණිජ අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ දිල්සරණි තරුෂිකා සමත්ව ඇති අතර ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සුජාතා විද්‍යාලයේ ප්‍රමුදි භාෂණී මුණසිංහ සමත්ව ඇති බවයි සඳහන් වන්නේ.

භෞතික විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ ගෝනදූවගේ මනෙත් බනුල පෙරේරා විසින් දිනාගෙන තිබෙනවා.

උසස්පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා.
ඒ අනුව https://doenets.lk/examresults වෙබ් පිටුව ඔස්සේ විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය යොමු කිරීමෙන් ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව පවතිනවා.