සුරාබදු බලපත්‍ර ගාස්තු ඉහළට

වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු ජනවාරි 12 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව තල් අරක්කු හැර ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් මිලියන 25ක් දක්වා ඉහළ දමා ඇති අතර, තල් අරක්කු ස්කාගාර බලපත්‍රය රුපියල් මිලියන 5ක් දක්වා ඉහළ දමා ඇති බවයි සඳහන් වන්නේ.

රා බෝතල් කිරීමේ බලපත්‍රය රුපියල් මිලියන 10 දක්වා ඉහළ දමා ඇති අතර, විනාකිරි නිෂ්පාදනාගාර බලපත්‍රයද මිලියන 2.5 ක් දක්වා ඉහළ දමා ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

65a35d441d6b7 65a35d43ea66f 65a35d4386967

කැසිනෝ බලපත්‍ර ගාස්තු ඉහළට

වහාම ක්‍රියාත්මක වන පරිදි කැසිනෝ බලපත්‍ර ගාස්තු ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව අවමය ඩොලර් මිලියන 250 ක ආයෝජනයක් සහිත අයදුම්කරුවන් සදහා බලපත්‍ර ගාස්තුව රුපියල් බිලි‍යන 10ක් බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

එසේම ඩොලර් මිලියන මිලියන 500ක අයෝජනයක් සදහා බලපත්‍ර ගාස්තුව රුපියල් බිලියන 5ක් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

65a3672f87aca 65a3672f7da27

පාරිභෝගික පැමිණිලි විමර්ශනය සඳහා දිස්ත්‍රික් කමිටු

පාරිභෝගික පැමිණිලි විමර්ශනය සඳහා දිස්ත්‍රික් කමිටු පිහිටුවා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

සෑම දිස්ත්‍රික්කයකම සහකාර දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පිහිටුවා ඇති බවයි නීතිය හා බලගැන්වීම් අධ්‍යක්ෂ නීතිඥ අමිතා ජයතුංග සඳහන් කරන්නේ.

ළඟම පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති පාරිභෝගික කටයුතු ශාඛාවට පැමිණ ගැටලු සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ඇය වැඩිදුරටත් සඳහන් කරනවා.

හරක් කටා සමග දුරකථන සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් ලෙස හඳුනාගෙන ඇති නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සමග දුරකථන සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට පුද්ගලයින් 06 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊ‍යේ (12) දහවල් වැලිගම හා අතුරුගිරිය යන ප්‍රදේශවල දී ‍මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඔවුන් අවුරුදු 24, 27, 32, 38, 39 සහ 43 යන වයස්වල පසු වන වැලිගම, දික්වැල්ල හා  අතුරුගිරිය ප්‍රදේශවල පදිංචිකරුන් බවයි සඳහන් වන්නේ.

කොළඹ අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

A/L කෘෂි විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රය අවලංගු කෙ​රේ

උසස් පෙළ විභාගයේ පසුගිය 10 වැනිදා පැවති කෘෂි විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රය සියලුම මාධ්‍යන්ට අදාළව අවලංගු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව කෘෂි විද්‍යාව 02 වන ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර සමාජ මාධ්‍යයේ සංසරණයවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊට අදාළ විභාගය පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ නිවේදනය පහතින්.

65a108e2e1f0d

මීනගයා ඇතු​ළු කොළඹ – මඩකලපුව දුම්රිය අද සාමාන්‍ය පරිදි ධාවනය කෙරේ

ගංවතුර හේතුවෙන් ඊයේ (11) අවලංගු කෙරුණු දුම්රිය සේවා කිහිපයක් අද (12) සවස සිට සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය සේවය පවසනවා.

ඒ අනුව මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඇතුළු කොළඹ සහ මඩකලපුව අතර දුම්රිය මෙලෙස සාමාන්‍ය පරිදි ධාවනය වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

රෝහල්වල කටයුතු පවත්වාගෙන යාමට හමුදාව යොදවයි

සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් අඩාල වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා යුද හමුදා භට පිරිස් යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇති බවයි යුද හමුදාව සඳහන් කළේ.

ඒ අනුව කොළඹ සහ මහනුවර ජාතික රෝහල්, කළුබෝවිල, කරාපිටිය, මහමෝදර, පේරාදෙණිය සහ කුරුණෑගල ශික්ෂණ රෝහල්,  මාතර, බලංගොඩ, ඇහැළියගොඩ, නාවලපිටිය, බදුල්ල, ගම්පොළ, මීරිගම යන රෝහල් සඳහා මේ වන විට යුද හමුදා භට පිරිස් යොදවා තිබෙනවා.

659f96177fd33 659f9616156df

වරාය තුළ පැවැත්වුවේ සාදයක් නොවේ, නිරීක්ෂණ චාරිකාවක් – ප්‍රේමලාල් ජයසේකර

වරාය තුළ මැති ඇමතිවරුන් පවත්වන ලද්දේ සාදයක් නොව නිරීක්ෂණ චාරිකාවක් බව වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර පවසනවා.

ඒ අනුව අයවැය විවාදය පැවැත්වෙන කාලයේ මන්ත්‍රීවරුන් වරාය නැරඹීමට අවස්ථාව ඉල්ලා සිටි බවත්, මේ සඳහා අමාත්‍යවරයාගෙන්ද අවසර ලබාගත් බවයි එල්ලවන චෝදනාවලට පිළිතුරු ලබාදීමට කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව ලබාගත් ආහාර පාන සඳහා වන බිල්පත් තම පෞද්ගලික වියදමින් ගෙවා ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර වැඩිදුරටත් සඳහන් කළේ.

ICC CEO සහ ක්‍රීඩා ඇමති අතර හමුවක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු පිළිබඳව ඵලදායී සාකච්ඡාවක් සිදුකළ බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

659e6fe1ce187

මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය පොළොන්නරුව දක්වා සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අධික වැසි සමග දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් මෙලෙස එම මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර ඇති බවයි සඳහන් වන්නේ.

මේ හේතුවෙන් මඩකලපුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය ද අවලංගු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.