අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා විදේශ විනිමය හිඟයක් දැන් රටේ නැහැ – මහ බැංකු අධිපති

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා විදේශ විනිමය හිඟයක් මේ වනවිට රට තුළ නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

තෙල්, ගෑස්, ගල්අඟුරු, අත්‍යවශ්‍ය ඖෂධ ආදිය සඳහා අවශ්‍ය විදේශ විනිමය දැන් මහ බැංකුවෙන් සැපයීමක් සිදු නොකරන බවයි සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

ඒ අනුව එම අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීම සිදු කරන්නේ, බැංකු ක්‍රමය තුළින් බවත් එහි සංචිත, ඩොලර් මිලියන 600 ක් දක්වා වර්ධනය වී ඇති බව මහ බැංකු අධිපතිවරයා වඩිදුරටත් සඳහන් කළා.

ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාත ඉහළ දැමීම පිළිබඳව IMF ප්‍රසාදය පළ කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (03) දිනයේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 1%කින් ඉහළ නැංවීමට කටයුතු කළා.

මේ පිළිබඳව අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසා තිබුණේ පොලී අනුපාතිකය ඉහළ නැංවීමට මහ බැංකුව ගත් තීරණය සුදුසු සහ උද්ධමන ඉලක්ක රාමුව යටතේ පිහිටුවා ඇති අරමුණුවලට අනුකූල බවයි.

උද්ධමනය පාලනය සඳහා සැලසුම් සහගත ක්‍රියාවලියට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොලි අනුපාතික ඉහළ දැමීම සුදුසු දෙයක් බවත්, එය උද්ධමන ඉලක්ක සපුරාලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ කැපවීම පිළිබිඹු කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තෙවන දිනටත් ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පිට පිට තෙවන දිනටත් ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු ඉහළ අගයක් ගෙන තිබෙනවා.

ඒ අනුව අද (03) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 334.50 ක් ලෙසත් විකුණුම් මිල රු. 348.03 ක් ලෙසත් සටහන්ව තිබෙනවා.

ඊයේ (02) දිනයේ දී ඩොලරයක් ගැනුම් මිල රු. 343.97 ක් ලෙසත් විකුණුම් මිල රු. 356.73 ක් ලෙසත් වාර්තාවී තිබුණා.

සඟවා තිබූ බිත්තර 60,000ක් සමඟ ගබඩාවකට මුද්‍රා තබයි

වැඩි මිලට විකිණීම සඳහා 60,000කට ආසන්න බිත්තර තොගයක් සඟවා ගෙන සිටි ජාඇල, දඬුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ ගබඩාවකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

අධිකරණයට කරුණු වාර්තා කර අදාළ බිත්තර තොගය සම්බන්ධයෙන් අද (03) තීන්දුවක් ගන්නා බවයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ.

සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමිට අයත් ජාඇල, දඬුගම ප්‍රදේශයේ බිත්තර ගබඩාවට මෙලෙම මුද්‍රා තබා ඇති බවයි සඳහන් වන්නේ.

බදු ප්‍රතිපත්තිය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව තුළ බදු ප්‍රතිපත්තිය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය වූ කාරණයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ නව බදු ප්‍රතිසංස්කරණ මගින් බදු ආදායම් සහ වියදම්වල අසමතුලිතතාවය නිවැරදි කිරීමේ අරමුණ ඉටුකර ගැනීමට ඉවහල් වන බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

බදු ආදායම ඉහළ නැංවීමේ උත්සාහයන් ආර්ථික වර්ධනයට හිතකර ආකාරයෙන් අනුගමනය කළ යුතු අතරම, දිළිඳු හා වඩාත්ම අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කරන ආකාරයෙන් එය සිදු කළ යුතු බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

අත්‍යාවශ්‍ය රජයේ වියදම් සඳහා මූල්‍ය සම්පාදනයට වඩාත් සරු ආර්ථිකයක් ඇති අය, ප්‍රමාණවත් දායකත්වයක් ලබා දීම ද වැදගත් බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අඛණ්ඩව සහාය දෙන බවට චීනය යළි අවධාරණය කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහා ශ්‍රී ලංකාවේ ණය ඉල්ලුම් පත්‍රයට සහාය ලබාදෙන බවට චීනයේ අපනයන ආනයන බැංකුව සහතික වී ඇති බව චීනය යළි අවධාරණය කර තිබෙනවා.

ඒ් අනුව ශ්‍රී ලංකාවේ කෙටි කාලීන ණය පහසුකම් ගෙවීම සඳහා වසර දෙකක කාලයක් ලබාදීමට එම එකඟතාව මගින් ප්‍රකාශ කර ඇති බවයි චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නින්ග් දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කර ඇත්තේ.

චීනයේ අපනයන ආනයන බැංකුව විසින් ඊට අදාළ ලේඛන මුදල් අමාත්‍යාංශය වෙත භාර දී ඇති බවද එම මාධ්‍ය හමුවේදී ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට චීනය අඛණ්ඩව සහාය ලබාදෙන බවයි ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නින්ග් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඊයේ (01) දිනයට සාපේක්ෂව අද (02) දිනයේ ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු ඉහළ අගයක් ගෙන තිබෙනවා. ඒ් අනුව අද (02) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 343.97 ක් ලෙසත් විකුණුම් මිල රු. 356.73 ක් ලෙසත් සටහන්ව තිබෙනවා. ඊයේ (01) දිනයේ දී ඩොලරයක් ගැනුම් මිල රු. 351.72 ක් ලෙසත් විකුණුම් මිල රු. 362.95 ක් ලෙසත් වාර්තාවී තිබුණා.

වැඩි මිලට බිත්තර අලෙවි කළ බිත්තර නිෂ්පාදකයින්ගේ සභාපතිට නඩු

බිත්තර වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායකට අයත් ගොවිපොළකට නඩු පැවරීමට පියවර ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඊයේ (01) දිනයේ කුරුණැගල දිස්ත්‍රික්කයේ කොබෙයිගනේ, මිරිහානේගම, අවුලේගම සහ බිංගිරිය යන ප්‍රදේශවල වැඩි මිලට බිත්තර අලෙවි කිරීම සම්බන්ධ වැටලීම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකර තිබෙනවා.

එහිදි කොබෙයිගනේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සරත් රත්නායකට අයත් බිත්තර ගොවිපොළකින් වැඩි මිලට බිත්තර අලෙවි කළ බවට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් අනාවරණ කරගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මාස අටකට පසු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගයේ සුළු වැඩි වීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (01) දිනයේ ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව පෙර පැවති අගයට වඩා සුළු ඉහළ අගයක් ගෙන තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 351.72 ක් සහ විකුණුම් මිල රු. 362.95 ක් ලෙසයි වාර්තා වී ඇත්තේ.

මෙය 2022 මැයි 04 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ අඩුම ගැනුම් සහ විකුණුම් වටිනාකම බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ.

ජාතික දායකත්ව විශ්‍රාම අරමුදල ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

ජාතික දායකත්ව විශ්‍රාම අරමුදල ස්ථාපිත කිරීමට අදාළ පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාව සඳහා අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය සේවකයෙකු සේවයට බැඳීමෙන් අනතුරුව ඔහුගේ මූලික වැටුපෙන් 8% ක් මාසිකව මෙම අරමුදලට බැරකළ යුතු අතර සේවායෝජකයාගේ දායකත්වය වශයෙන් 12% ක් මාසිකව මෙයට බැරකළ යුතු බවයි අදාළ කැබිනට් තීරණයේ සඳහන් වන්නේ.

මෙම යෝජිත ජාතික දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ඉදිරියේදී බඳවාගනු ලබන රාජ්‍ය සේවකයින් සඳහා අදාළ වන බවද, 2016 ජනවාරි මාසයෙන් පසු රාජ්‍ය සේවයට බඳවාගත් සේවකයන්ට තම අභිමතය පරිදි මෙම ජාතික දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයට සම්බන්ධ විය හැකි බවද වැඩිදුරටත් සඳහන්.