දුම්රිය ගාස්තු සංශෝධනයක් මේ අවස්ථාවේ ප්‍රායෝගික​ව කරන්න බැහැ – ලසන්ත අලගියවන්න

අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි නව බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමට අදාළ සියලු චක්‍රලේඛනයන් ඊයේ (29) දිනය වන විට සියලු පළාත් සභා, ලංකා ගමනාගමන මණ්ඩලය සහ ජාතික ගමනාගමන මණ්ඩලයටත් ලබාදීමට කටයුතු කළ බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියා.

දුම්රිය ගාස්තු සංශෝධනය පිළිබඳව අදහස් පළ කරමින් එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මේ අවස්ථාවේ දී දුම්රිය ගාස්තු සංශෝධනයක් කිරීම ප්‍රායෝගිකව සිදුකළ නොහැකි බවයි.

ත්‍රිරෝද රථ සංගම් විසින් ඊයේ (29) දිනයේ සිටම අවශ්‍ය සංශෝධනයන් කිරීමට එකඟ වූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

ප්‍රවාහන ගාස්තු අඩු කිරීමට අවධානය යොමු කරනවා – පාසල් ළමුන් ප්‍රවාහන සංගමය

ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩුවීමත් සමඟ පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා ලබාගන්නා අය කිරීම් අඩු කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා.

වැඩි වීමේ දී වැඩි වූ ආකාරයටම දෙමව්පියෝ සහ හිමිකරු සහ රියදුරු සමග ඇති කරගත් එකඟතාවය මතම මිල අඩුවීමේදීත් දෙමාපියන් සමඟ සාකච්ඡා කොට අදාළ පියවර ගන්නා බවයි එම සංගමය කියා සිටියේ.

ප්‍රතිශතයක් ලෙස අඩු කිරීමේ අපහුසතාවයක් පවතින බවත්, ඊට හේතුව ලෙස විවිධ පාසල් සේවා ධාවනය වන දුර ප්‍රමාණයන් වෙනස් බව පෙන්වාදෙන සංගමය අවධාරණය කර සිටියේ තෙල් මිල පහළ යාම මත අදාළ තීරණ ගන්නා ලෙසයි.

ත්‍රීරෝද රථ ගාස්තු පහළට

ත්‍රිරෝද රථ ගාස්තු රුපියල් 20කින් අඩු කිරීමට තීරණය කළ බව ත්‍රිරෝද රථ සංගම් පවසනවා.

ඒ අනුව පළමු කිලෝමීටරයට රුපියල් 100 ක් හා දෙවන කිලෝමීටරයේ සිට අය කෙරෙන ගාස්තුව රුපියල් 80 දක්වා පහත හෙලන බවයි ත්‍රිරෝද රථ සංගම් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

රත්‍රං මිල ඉහළට

ඊයේ (29) දිනයේ රු. 161,000ක් ලෙස පැවති කැරට් 22 රන් පවුමක මිල අද (30) දිනයේ රු. 163,800 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ දත්ත වාර්තා කරනවා.

එමෙන්ම රු. 175,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිලද අද දිනය වන විට 178,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

 

අවම බස් ගාස්තුව රුපියල් 4 කින් අඩු කෙරේ

ඉන්ධන මිල පහත දැමීමත් සමඟ හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා පහත දමන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

මීට පෙර බස් ගාස්තු සංශෝධනයේදී අවම ගාස්තුව රුපියල් 34 ක් ලෙස පැවතුණා.

ඒ අනුව අනෙකුත් බස් ගාස්තු සංශෝධනය වන ආකාරය පසුව දැනුම්දිමට නියමිත බවයි ප්‍රවාහන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

අද ඩොලරයේ විකුණුම් මිල රු.333 යි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (29) සුළු වැඩිවීමක් සිදුව තිබෙනවා. අද ඩොලරයක ගැනුම් මිල රු.315.70 ක් ලෙස හා විකුණුම් මිල රු.333.49 ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇති අතර, ඊයේ දිනයට සාපේක්ෂව විකුණුම් මිලෙහි වැඩි වීම සත 62 ක්.

IOC ඉන්ධන මිල පහලට

ලංකා IOC සමාගමද අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන් හා සමානව සිය මිල ගණන් අඩු කරන බවයි ලංකා IOC සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

CEYPETCO ඉන්ධන මිල පහතට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

* පෙට්‍රල් 92 – රු.60 කින් (නව මිල රු.340)

* පෙට්‍රල් 95 – රු.135 කින් (නව මිල රු.375)

* ඔටෝ ඩීසල් – රු.80 කින් (නව මිල රු.325)

* සුපර් ඩීසල් – රු.45 කින් (නව මිල රු.465)

* භූමිතෙල් – රු.10 කින් (නව මිල රු.295)

ඇතැම් පිරවුම්හල් අප්‍රේල් මස මිල සංශෝධන අපේක්ෂාවෙන් ඉන්ධන ඇනවුම් කර නැහැ – කංචන

අද (29) උදෑසන 6.00 ට කොළොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවල ඉන්ධන බෙදාහැරීම පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ඇතිව ආරම්භ කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ප්‍රමාණවත් ඉන්ධන තොග රට තුළ ඇති නමුත් ඇතැම් ඉන්ධන පිරවුම්හල් අප්‍රේල් මස මිල සංශෝධන අපේක්ෂාවෙන් ඉන්ධන ඇනවුම් කර නොමැති බවද, ඔවුන්ට තම ඇණවුම් සිදුකර අවශ්‍ය අවම තොග පවත්වා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

අදාළ Twitter පණිවිඩය පහතින්.

b91921d51e2378f06cf84ba07f9fb3d6

මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසීමට විදෙස් සමාගම් 3 කට කැබිනට් අනුමැතිය

විදෙස් සමාගම් 03 කට ශ්‍රී ලංකාවේ ඉන්ධන සිල්ලර වෙළඳපොළට ඇතුළු වීමට බලපත්‍ර ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව චීනයේ Sinopec, ඕස්ට්‍රේලියාවේ United Petroleum, ඇමෙරිකාවේ RM Parks සහ Shell PLC වෙත ශ්‍රී ලංකාවේ ඉන්ධන සිල්ලර වෙළඳපොළට ඇතුළු වීමට බලපත්‍ර ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

RM Parks සහ Shell PLC සමාගම් එක්ව සේවා සැපයීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම සමාගම් 3 සඳහා දැනට ඛණිජ තෙල් සංස්ථාව විසින් පවත්වාගෙන යනු ලබන, අලෙවි නියෝජිතයින් විසින් මෙහෙයවන ඉන්ධන පිරවුම්හල් 150 බැගින් වෙන්කරන අතර ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට සහ අලෙවි කිරීමට වසර 20ක් ක්‍රියාත්මක වීමට බලපත්‍රයක් ලබාදෙන බවද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

එමෙන්ම අදාල තෝරාගත් සමාගම් මගින් නව ඉන්ධන පිරවුම්හල් 50 ක් ඉදිකිරීමටද නියමිත බවයි සඳහන් වන්නේ.

c167def3dbf2b8e66a45f21c98ecc227

ca313b0e8d7533bd1f03ace00f56ebec