ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර තොග සෞඛ්‍ය ආරක්ෂිත බවට දැනුම්දෙයි

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර මිලියන 10කට ආසන්න තොගයක් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සතුව පවතින බව එහි සභාපති ආසිරි වලිසුන්දර පවසනවා. ඉකුත් සතියේ ඉන්දියාවේ සංචාරයක නිරත වූ සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ගොවිපළ කිහිපයක් පරීක්ෂාවටද ලක් කළ බවත් ඔවුන්ගේ වාර්තාව පසුගියදා ලබාදුන් බවයි ඔහු සඳහන් කරන්නේ. ඒ අනුව එම ගොවිපළවලින් බිත්තර සෞඛ්‍ය ආරක්ෂිතව අපනයනය කරන බවට සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වාර්තාවක් මගින් පෙන්වාදී ඇති බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර වැඩිදුරටත් සඳහන් කළේ.

අද ඩොලරයේ විකුණුම් මිල රු.308 යි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (26) සුළු පහළ යෑමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු. 295.62 ක් ලෙස හා විකුණුම් මිල රු. 308.54 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

රජයට මිතුරු ව්‍යාපාරිකයින්ගේ ණය කපා හරින බවට පළවෙන වාර්තා බොරු – රංජිත් සියඹලාපිටිය

රජයට පක්ෂපාතී ව්‍යාපාරිකයින් 10 දෙනෙකුගේ ණය බොල්ණය ලෙස කපා හරින බවට පළ වූ වාර්තා අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මේ පිළිබඳව රාජ්‍ය බැංකු සහ මහ භාණ්ඩාගාරය අමතා තමා කරුණු විමසීමක් ද කළ බව කියා සිටි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ‍එලෙස ණය කපා දැමීම භයානක ක්‍රියාවක් බවත්, එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කිසිදු අදහසක් නොමැති බවයි.

සමස්ථ ගණුදෙනුකරුවන් බැංකු ණයෙන් පීඩාවට පත්ව සිටින අවස්ථාවක කිහිප දෙනෙකුගේ පමණක් ණය කපා දමන බවට පළවන වාර්තා රටේ අනෙකුත් ගණුදෙනුකරුවන්ට පීඩාවක් ගෙන දෙන පුවතක් බවට පවසන අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේ දී හෝ එලෙස ණය කපා දැමීමට අපේක්ෂා නොකරන බවයි.

අද ඩොලරයේ විකුණුම් මිල රු. 310 දක්වා පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (25) සුළු පහළ යෑමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.297.60 ක් ලෙස හා විකුණුම් මිල රු.310.95 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ 6ක මිල පහළ දමයි

අද (24) දින සිට ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල පහත දමා ඇති බව එම සමාගම නිවේදනය කරනවා.

ඒ අනුව කිරිපිටි (ලංකා සතොස) ග්‍රෑම් 400 පැකට් එකක මිල රුපියල් 50කින් අඩුකර තිබෙන අතර එහි නව මිල රුපියල් 1,030 ක් බවයි සඳහන් වන්නේ.

මීට අමතරව වියළි මිරිස්, රතු පරිප්පු, සෝයා මීට් (තොග), ලොකු ලූනු, සුදු සීනි මිල පහත දමා ඇති බවයි සඳහන් වන්නේ.

අඩු කළ මිල ගණන් සහ නව මිල පහතින්.

* කිරිපිටි (ලංකා සතොස) 400g – රු.50 කින් (නව මිල රු.1030)
* වියළි මිරිස් 1 KG – රු.45 කින් (නව මිල රු.1350)
* රතු පරිප්පු 1KG – රු.10 කින් (නව මිල රු.325)
* සෝයා මීට් (තොග) 1KG – රු.10 කින් (නව මිල රු.660)
* ලොකු ලූනු 1KG – රු.06 කින් (නව මිල රු.129)
* සුදු සීනි 1KG – රු.04 කින් (නව මිල රු.239)

අද ඩොලරයේ විකුණුම් මිල රු.311 දක්වා පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (24) සුළු පහළ යෑමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.297.98 ක් ලෙස හා විකුණුම් මිල රු.311.23 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතුයි – බන්දුල ගුණවර්ධන

බස් ගාස්තුවට වඩා තුනෙන් එකකට අඩුවෙන් දුම්රිය ගාස්තු පවත්වාගෙන යෑමට ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි අද (24) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

2021 වසරේ දුම්රිය දෙපාර්තමේන්තුවේ මුළු ආදායම බිලියන 2.6 ක් බවත් ඉන් බිලියන 2.3ක් අතිකාල දීමනා සඳහාත් වැටුප් සඳහා බිලියන 7 ක් වැයවී ඇති බවත් මේ හේතුවෙන් පසුගිය වර්ෂවල රුපියල් බිලියන 10 ක පමණ අලාභයක් සිදුව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව නැති කිරීම සඳහා ඩිජිටල්කරණය කළ යුතු බවත් මාස තුනක් තුළ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම, ආසන වෙන්කිරීම ආදිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් සඳහන් කළා.

සුබසාධක ප්‍රතිලාභ ජූලි මස සිට සෘජුවම ප්‍රතිලාභියා​ගේ බැංකු ගිණුමට

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ක්‍රියාවට නංවන ලද “අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම මෙන්ම සමෘද්ධි සහ වැඩිහිටි ආධාර ඇතුළු දැනට රජය මගින් ලබා දෙන සුබසාධක මූල්‍යාධාර ජූලි මස සිට සෘජුවම ප්‍රතිලාභියාගේ බැංකු ගිණුමට බැර කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ඒ අනුව සුබසාධක ප්‍රතිලාභීන් සිය දීමනා ලබා ගැනීමට යෑමේදී මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

එසේම බැංකු ගිණුම් නොමැති ප්‍රතිලාභීන්ට ද බැංකු ගිණුම් විවෘත කිරීමට ද අවශ්‍ය පියවර ගෙන ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න සඳහන් කළා.

උද්භිද උද්‍යාන සඳහා ඇතුලුවීමේ ගාස්තු ඉහළට

ජුලි 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට උද්භිද උද්‍යාන සඳහා ඇතුලුවීමේ ගාස්තු ඉහළ දමමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලාංකික වැඩිහිටියන් සහ අවුරුදු 12 ට වැඩි ළමුන් සඳහා ගාස්තුව රුපියල් 200 ක් දක්වා ඉහළ දමා ඇති අතර වයස අවුරුදු 12 ට අඩු ළමුන් සහ පාසල් සිසුන් සඳහා ගාස්තුව රුපියල් 30 ක් සහ අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් සඳහා රුපියල් 50 ක් ලෙස ගාස්තු ඉහළ දමා ඇති බවයි සඳහන් වන්නේ.

එසේම විදේශික වැඩිහිටියන් සහ අවුරුදු 12 ට වැඩි ළමුන් සඳහා ගාස්තුව රුපියල් 3000 ක් දක්වා ඉහළ දමා ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

IMF පළමු සමාලෝචනය එළැඹෙන සැප්තැම්බර් මසදී

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති විස්තීර්ණ ණය පහසුකමට අදාළ පළමු සමාලෝචනය එළඹෙන සැප්තැම්බර් මාසයේදී සිදුකරන බව මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ආර්ථිකයේ යම් යම් සුභදායි වෙනස්කම් සිදුවුවද සමස්ත සාර්ව ආර්ථික සහ ප්‍රතිපත්තිමය පරිසරය අභියෝගාත්මකව පවතින බවයි Peter Breuer සහ Masahiro Nozaki නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

පළමු සමාලෝචනය වනවිට වැඩසටහන් ඉලක්කවලට අනුකූලව ණයහිමියන් සමඟ කාලානුරූපී ප්‍රතිව්‍යුහගත ගිවිසුම් සාක්ෂාත් කර ගැනීම ණය තිරසාරභාවය ප්‍රතිස්ථාපනය කිරීම අත්‍යවශ්‍ය බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩඒම මෙන්ම මහ බැංකු ස්වාධීනත්වය සහතික කිරීම, පාලනය වැඩිදියුණු කිරීම සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම ඇතුළුව ප්‍රතිසංස්කරණ පවත්වා ගැනීම සහ වැඩසටහන් බැඳීම් කාලෝචිත ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම අත්‍යාවශ්‍ය වන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.