සතොස භාණ්ඩ වර්ග 4 ක මිල අඩුකරයි

ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග 04ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව වියලි මිරිස්, ලොකු ලූණු, රතු කැකුළු (දේශීය), පාන් පිටි යන භාණ්ඩ වර්ගවල මිල මෙලෙස පහළ දමා ඇති බවයි සඳහන් වන්නේ.

අඩු කළ මිල හා නව මිල පහතින්,

* වියලි මිරිස් 1Kg – රු.25 කින් (නව මිල රු.1675)
* ලොකු ලූණු 1Kg – රු.15 කින් (නව මිල රු.165)
* රතු කැකුළු (දේශීය) සහල් 1Kg – රු.10 කින් (නව මිල රු.169)
* පාන් පිටි 1Kg – රු.5 කින් (නව මිල රු.230)

පසුගිය වසරේ මෙරටට ලැබුණු විදෙස් ප්‍රේෂණ ගැන දැනුම්දීමක්

විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් 2022 වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 3,789 ක් මෙරටට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් 2021 වසරේදී ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය සටහන්වී ඇත්තේ ඩොලර් මිලියන 5,491 ක් ලෙස බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.

ඒ අනුව 2021 ට සාපේක්ෂව 2022 දී ප්‍රේෂණ 31.0% ක අඩුවීමක් පෙන්නුම් කළද 2022 වසරේ අග භාගයේදී ප්‍රේෂණ කැපී පෙනෙන ලෙස යථා තත්ත්වයට පත්වීමක් පෙන්නුම් කරන බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

IMF විසින් බංග්ලාදේශයට පළමු ණය වාරිකය ලබාදෙයි

ශ්‍රී ලංකාවට පසුව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව ඇති කරගත් බංග්ලාදේශයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීරණ ණය පහසුකමේ පළමු වාරිකය මුදාහැර තිබෙනවා.

ශ්‍රී ලංකාව සමග කාර්ය මණ්ඩල එකඟතාව පසුගිය වසරේ සැප්තැම්බර් 01 වනදා ඇතිකරගත් අතර බංග්ලාදේශය එම එකඟතාව ඇති කරගත්තේ පසුගිය වසරේ නොවැම්බර් 09 වනදායි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ, බංග්ලාදේශයට අමෙරිකානු ඩොලර් බිලියන 4.7 ක ණය මුදල ලබාදීමට විධායක කමිටුවේ අනුමැතිය ලබාදුන් බවත් ඩොලර් මිලියන 476 ක පළමු වාරිකය මුදා හැරීමට පියවරගත් බවයි.

පුද්ගලික බදු අයවන සීමාව ලක්ෂ 2 දක්වා ගේනවා – අනුර

ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ පවතින බදු ක්‍රමය වෙනස් කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව පුද්ගලික බදු අයවන අවමය දැනට පවතින රුපියල් 100,000 සීමාවේ සිට රුපියල් 200,000 දක්වා ගෙන යන බවත්, අයවන උපරිම බද්ද දැනට පවතින 36% සිට 24% දක්වා අඩු කරන බවත් ඔහු අවධාරණය කරනවා.

රටක් පවත්වාගෙන යාම සඳහා බදු අය කිරීම කළ යුතු වුවත් එය සැමට සාධාරණ විය යුතු බවද, පවතින බදු ක්‍රමයත් සමඟ මෙරට දැවැන්ත බුද්ධි ගලනයක් සිදු වෙමින් පවතින බවද YouTube නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නා.

බිත්තර ආනයනයට අනුමැතිය නොදෙන පාර්ශව ගැන ජනපති වාර්තාවක් කැඳවයි

බිත්තර ආනයනය කිරීමට අවශ්‍ය අනුමැතිය ලබානොදෙන පාර්ශවයන් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් එළැඹෙන සතියේ කැබිනට් මණ්ඩලයට ලබාදෙන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කර තිබෙනවා.

අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ, ඉදිරි උත්සව සමයේදී සාමාන්‍ය ඉල්ලුමට වඩා ඉහළ ඉල්ලුමක් බිත්තර සඳහා ඇති වන බවයි.

ඉන්දියාව ප්‍රධාන බිත්තර අපනයනකරුවෙක් බවත්, ඔවුන් වෙනත් රටවලට අපනයනය කරන දෙයක් අපේ රටට ගෙන්වීමට නොහැකි බවට තීරණය කරනවා නම් ඒ සඳහා සාධාරණ හේතු දැක්වීමක් සිදුකළ යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අසාධාරණ බදු අය කිරීමට එරෙහිව වෘත්තීයවේදීන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

අසාධාරණ ලෙස බදු අය කිරීම අත්හිටුවීමට මෙම සතිය තුළ පියවර නොගන්නේ නම් එළඹෙන සතියේ සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

ඒ අනුව එම වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ, අද (31) සාකච්ඡාවක් ඉල්ලා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරන බවයි.

මේ අතර සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ සඳහන් කළේ, සියළුම වරාය වෘත්තීය සමිති එක්වී හෙට (01) දිනයේ මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට IMF මඟ පෙන්වීම හැර විකල්පයක් නෑ – රංජිත් සියඹලාපිටිය

රට තුළ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිදුකරන මඟ පෙන්වීම් අනුව ක්‍රියා කරනවා හැර වෙනත් විකල්පයක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ අනුව අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වසර තුළ -3.5ක ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වන බවත්, 2024 වසරේ දී ධන ආර්ථිකයක් කරා ගමන් කළ හැකි බවයි. මේ වන විට අලුත් බදු ගැන සාකච්ඡා කළද එම බොහෝමක් බදු පෙර තිබූ ඒවා බවත් ඒවා යම් ප්‍රමාණයක් පෙර තිබූ තත්ත්වයට වඩා වැඩි බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

බිත්තර මිල ගැටලුවට විසඳුම් නොලැබුනොත් කුකුළන් සහ කිකිළියන් රැගෙන නිදහස් උත්සවයට එනවා – ආපන ශාලා හිමියන්

බිත්තර මිල සම්බන්ධ ගැටලුවට ආණ්ඩුව වහාම විසඳුමක් ලබාදිය යුතු බව ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

අද (27) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති අසේල සම්පත් සඳහන් කළේ, නිදහස් සැමරුමට පෙර බිත්තර මිල සම්බන්ධ ගැටලුවට විසඳුම් ලබාදිය යුතු බවයි.

ඒ සඳහා විසඳුම් නොලැබුන හොත් කුකුළන් සහ කිකිළියන් රැගෙන නිදහස් උත්සවයට පැමිණෙන බවයි ආපන ශාලා හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

PAYE බද්දට එරෙහිව මහ බැංකු සේවකයින් විරෝධතාවයක නිරත වෙයි

රජය විසින් පනවා ඇති පුද්ගලික ආදායම් බද්දට (PAYE) එරෙහිව මහ බැංකු සේවකයින් විසින් අද (26) විරෝධතාවයක නිරත වුණා.

ඒ අනුව කළු වර්ණයෙන් සැරසුණු ශ්‍රී ලංකා මහා බැංකුවේ වෘත්තීය සමිති පහකට අයත් සේවකයන් අද උදෑසන සිට පස්වරු කාලය දක්වා සේවයෙන් ඉවත්වී මෙලෙස විරෝධතාවයේ නිරතව සිටි බවයි වාර්තා වන්නේ.

581cec062e6b8459fccb1a03d9165f6c 3318624672b76cf3a7465f3bc34007a8 CBSLWorkers

මාසික වැටුප් වෙනුවට සතිපතා වැටුප් ගෙවීමට උදය ගම්මන්පිලගෙන් යෝජනාවක්

වැටුප් අර්බුදය විසඳීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම සේවකයන්ට සතිපතා වැටුප් ගෙවිය යුතු බවට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල යෝජනා කරනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මේ මාසයේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමේ ප්‍රමාදයක් සිදුවන බවට රජය දන්වා ඇති අතර ඇතැම් පෞද්ගලික ආයතන ද මෙවැනි ගැටලුවකට මුහුණ පා සිටින බවයි. මාසික වැටුප් ලබාගැනීමේදී මාසයේ තුන්වන සතිය වන විට සේවකයන්ට මුදල් නොමැති බවත්, ඊළඟ වැටුප ලැබෙන තුරු ණය ලබා ගැනීමට සිදුවන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.