ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අඛණ්ඩව සහාය දෙන බවට චීනය යළි අවධාරණය කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහා ශ්‍රී ලංකාවේ ණය ඉල්ලුම් පත්‍රයට සහාය ලබාදෙන බවට චීනයේ අපනයන ආනයන බැංකුව සහතික වී ඇති බව චීනය යළි අවධාරණය කර තිබෙනවා.

ඒ් අනුව ශ්‍රී ලංකාවේ කෙටි කාලීන ණය පහසුකම් ගෙවීම සඳහා වසර දෙකක කාලයක් ලබාදීමට එම එකඟතාව මගින් ප්‍රකාශ කර ඇති බවයි චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නින්ග් දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කර ඇත්තේ.

චීනයේ අපනයන ආනයන බැංකුව විසින් ඊට අදාළ ලේඛන මුදල් අමාත්‍යාංශය වෙත භාර දී ඇති බවද එම මාධ්‍ය හමුවේදී ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට චීනය අඛණ්ඩව සහාය ලබාදෙන බවයි ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නින්ග් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඊයේ (01) දිනයට සාපේක්ෂව අද (02) දිනයේ ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු ඉහළ අගයක් ගෙන තිබෙනවා. ඒ් අනුව අද (02) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 343.97 ක් ලෙසත් විකුණුම් මිල රු. 356.73 ක් ලෙසත් සටහන්ව තිබෙනවා. ඊයේ (01) දිනයේ දී ඩොලරයක් ගැනුම් මිල රු. 351.72 ක් ලෙසත් විකුණුම් මිල රු. 362.95 ක් ලෙසත් වාර්තාවී තිබුණා.

වැඩි මිලට බිත්තර අලෙවි කළ බිත්තර නිෂ්පාදකයින්ගේ සභාපතිට නඩු

බිත්තර වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායකට අයත් ගොවිපොළකට නඩු පැවරීමට පියවර ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඊයේ (01) දිනයේ කුරුණැගල දිස්ත්‍රික්කයේ කොබෙයිගනේ, මිරිහානේගම, අවුලේගම සහ බිංගිරිය යන ප්‍රදේශවල වැඩි මිලට බිත්තර අලෙවි කිරීම සම්බන්ධ වැටලීම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකර තිබෙනවා.

එහිදි කොබෙයිගනේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සරත් රත්නායකට අයත් බිත්තර ගොවිපොළකින් වැඩි මිලට බිත්තර අලෙවි කළ බවට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් අනාවරණ කරගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මාස අටකට පසු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගයේ සුළු වැඩි වීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (01) දිනයේ ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව පෙර පැවති අගයට වඩා සුළු ඉහළ අගයක් ගෙන තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 351.72 ක් සහ විකුණුම් මිල රු. 362.95 ක් ලෙසයි වාර්තා වී ඇත්තේ.

මෙය 2022 මැයි 04 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ අඩුම ගැනුම් සහ විකුණුම් වටිනාකම බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ.

ජාතික දායකත්ව විශ්‍රාම අරමුදල ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

ජාතික දායකත්ව විශ්‍රාම අරමුදල ස්ථාපිත කිරීමට අදාළ පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාව සඳහා අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය සේවකයෙකු සේවයට බැඳීමෙන් අනතුරුව ඔහුගේ මූලික වැටුපෙන් 8% ක් මාසිකව මෙම අරමුදලට බැරකළ යුතු අතර සේවායෝජකයාගේ දායකත්වය වශයෙන් 12% ක් මාසිකව මෙයට බැරකළ යුතු බවයි අදාළ කැබිනට් තීරණයේ සඳහන් වන්නේ.

මෙම යෝජිත ජාතික දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ඉදිරියේදී බඳවාගනු ලබන රාජ්‍ය සේවකයින් සඳහා අදාළ වන බවද, 2016 ජනවාරි මාසයෙන් පසු රාජ්‍ය සේවයට බඳවාගත් සේවකයන්ට තම අභිමතය පරිදි මෙම ජාතික දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයට සම්බන්ධ විය හැකි බවද වැඩිදුරටත් සඳහන්.

වී මිළදී ගැනිම, සහල් නිෂ්පාදනය, සහ අලෙවිය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කෙරේ

වී මිළදී ගැනිම, සහල් නිෂ්පාදනය, සහ අලෙවිය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කිරිමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, වී ගොවියාට සාධාරණ මිලක් ලබා දීමේ අරමුණින් රජය විසින් නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 100 බැගින් මිල දී ගෙන අඩු ආදායම්ලාභීන්ට නොමිලේ සහල් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බවයි සඳහන් වන්නේ.

මෙම බද්ද පැනවීම හේතුවෙන් සෑම සහල් කිලෝග්‍රෑමයක් සඳහා නිෂ්පාදකයින්ට රුපියල් 06 ත් 07 ත් අතර මුදලක් වැය කිරීමට සිදුව ඇති බවත් එම තත්ත්වය මත වී ගොවියාට සාධාරණ මිලක් ලබාදීමට නොහැකි වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

ණය නිරාකරණය සම්බන්ධයෙන් පොදු රාමුවක් යටතේ කාලෝචිත සහ ක්‍රමවත් ක්‍රියාවලියක් අවශ්‍යයි – ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා

ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයෙන් පෙළෙන රටවලට සහන සැලසීමට ජී -20 රටවල් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා

ඉන්දියාවේ බැංගලෝර්හි පැවති ජී -20 රටවල මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහබැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ණය අර්බුදය විසඳීමට සහ ණය පීඩාවට පත් රටවලට පහසුකම් සැලසීමට නිල ද්වී පාර්ශ්වික සහ පෞද්ගලික ණය හිමියන්ගේ බහු පාර්ශ්වික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම අවශ්‍ය බවට ජී – 20 හමුවේදී අවධානය යොමුකර ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාවේ ණය නිරාකරණය සම්බන්ධයෙන් පොදු රාමුවක් යටතේ කාලෝචිත සහ ක්‍රමවත් ක්‍රියාවලියක් අවශ්‍ය බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා සඳහන් කරන්නේ.

ආනයනික බිත්තරයක් රුපියල් 30 කට ආහාර නිෂ්පාදකයන්ට

ඉන්දියාවේ සිට ආනයනය කරනු ලබන බිත්තර රුපියල් 30 ක් වැනි මිලකට ආහාර නිෂ්පාදකයින්ට ලබාදිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් ආනයනය කරනු ලබන බිත්තර වෙළෙඳපොළට නිකුත් නොකරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙරට බිත්තර මිල පාලනය කිරීමේ අරමුණින් බිත්තර ආනයනය කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කළ අතර ඒ අනුව ඉන්දියාවේ සිට බිත්තර මිලියන 02ක් ආනයනය කිරීමට රජය පියවර ගෙන තිබුණා.

බිත්තර සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කිරීම පියවර

බිත්තරයක් සඳහා පනවා ඇති රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පෙබරවාරි 21 වනදා සිට ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව විසින් ආනයනය කිරීමේ දී රුපියලක් දක්වා අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඉන්දියාවේ සිට බිත්තර මිලියන 02කට ආසන්න ප්‍රමාණයක් පළමු වරට ආනයනය කිරීමට පියවර ගෙන අතර එම බිත්තර තොගය දිවයිනට ගෙන ඒමට නියමිතව තිබෙනවා.

ජල බිල්පත් ගෙවීම 40% ක් දක්වා පහළ ගිහින් – ජල සම්පාදන මණ්ඩලය

රුපියල් මිලියන 8,400 ක හිඟ බිල්පත් ජල පාරිභෝගිකයින් විසින් ගෙවීමට ඇති බවත්, බිල්පත් ගෙවීම 40 %ක් දක්වා පහළ ගොස් ඇති බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

රුපියල් මිලියන 8,400ක මුදලින් රුපියල් මිලියන 6,200 ක්ම ගෙවීමට ඇත්තේ ගෘහස්ත ජල පාරිභෝගිකයින් විසින් බවත් මණ්ඩලය පෙන්වා දෙනවා.

මෙලෙස බිල්පත් නොගෙවීම නිසා මණ්ඩලයේ නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට දැඩි බාධා මතුව ඇති බවයි එම මණ්ඩලය අවධාරණය කරන්නේ.