ඉන්දියාවෙන් ආනයනය කර​න පළමු බිත්තර තොගය දිවයිනට පැමිණෙයි

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබූ පළමු බිත්තර තොගය දිවයිනට ළඟා වී ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

මෙරට බිත්තර මිල පාලනය කිරිමේ අරමුණින් ඉන්දියාවේ සිට බිත්තර ආනයනය කිරිමට රජය තීරණය කළ අතර පළමු බිත්තර තොගය ලෙස බිත්තර මිලියන 2 ක් ආනයනය කර ඇති බවයි සඳහන් වන්නේ.

දිවයිනට රැගෙන ආ බිත්තර තොගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරන පරීක්ෂණ වලින් අනතුරුව ඒවා නිදහස් කර හැරීමට නියමිතව තිබෙනවා.

රන් මිල යළිත් පහළට

මෙරට රත්‍රං මිල ගණන් අද (22) දවසේ නැවත වරක් පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළඳුන් පවසනවා.

ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 151,800 ක් දක්වා පහළ ගොස් ඇති අතර ඊයේ (21) කැරට් 22 රන් පවුමක මිල සටහන්ව තිබුණේ රු. 162,000 ක් ලෙසයි.

මේ අතර ඊයේ දිනයේ දී රු. 175,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වන විට රු. 165,000 ක් දක්වා පහත වැටී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

දේපල බදු ක්‍රමය වෙනුවට ඉදිරියේදී ධන බද්දක් සහ තෑගි හා බූදල් බද්දක් හඳුන්වාදීමට කටයුතු කරනවා – ජනපති

2025 දී අවම බදු නිදහස් කිරීමක් සහිතව, දේපල බදු ක්‍රමය වෙනුවට ධන බද්දක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, තෑගි හා බූදල් බද්දක් හඳුන්වා දීමටත් පියවර ගන්නා බවයි.

2025 වන විට ප්‍රාථමික හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3% ක් බවට පත් කර ගැනීම රජයේ ඉලක්කය බවත් 2026 වන විට රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15% ක් දක්වා වැඩි කර ගැනීමට සැලසුම් කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

ආංශික බදු සහන නොමැතිව සංස්ථාපිත ආදායම් බදු අනුපාතය 30% දක්වා වැඩි කර ඇති බවත් වැට් බදු අනුපාතය 8% සිට 15% දක්වා වැඩි කිරීමට පියවර ගත් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඩොලරයේ විකුණුම් මිල රු.330 දක්වා අඩු වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (22) නැවතත් අඩු වීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.312.61ක් ලෙස හා විකුණුම් මිල රු.330.16ක් ලෙසයි අද ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

උද්ධමනයට සරිලන ලෙස රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනස්කරනවා – ජනපති

යම් යම් සීමාවන්ට යටත්ව උද්ධමනයට සරිලන ලෙස ඉදිරියේ දී රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනස් කිරීමට නියමිත බව ජනාධිපතිවරයා පවසනවා.

ඒ අනුව ප්‍රාථමික අයවැය ශේෂයේ සීමාවන් තුළ අදාළ ගැලපීම සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

එසේම ඉන්ධන මිල තීරණය කිරීම දේශපාලන අධිකාරියෙන් සම්පූර්ණයෙන් ඉවත් කරන බවත් ඉන්ධන මිල 2018 මිල සූත්‍රය අනුව පමණක් තීරණය කරන බවද එහිදී ජනාධිපතිවරයා සඳහන් කළා.

සෑම 6 මසකට වරක්ම විදුලි බිල ගැලපීමට පියවර ගන්නා බවත්, මහා පරිමාණයෙන් පාඩු ලබන මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රීලංකන් ගුවන් සේවය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා විදුලිබල මණ්ඩලය යන ආයතනවල ශේෂ පත්‍ර යළි සකස් කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

IMF මූල්‍ය සහනය පොලී අනුපාත පහත හෙලීමට උපකාරී වේවි – මහ බැංකු අධිපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සඳහා මූල්‍ය සහනය අනුමත කිරීම පොලී අනුපාත පහත හෙලීමට සහ දේශීය පොලී අනුපාත මත පීඩනය තවදුරටත් ලිහිල් කිරීමට උපකාරී වනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ අනුව මේ තුළින් රජයට දේශීය වෙළෙඳපොළෙන් ණය ගැනීමේ අවශ්‍යතාව ලිහිල් වනු ඇති බවයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

දැනට 50% සීමාවේ පවතින උද්ධමනය 2023 අවසාන භාගය වනවිට තනි ඉලක්කමක් දක්වා අඩුකිරීමට හැකිවනු ඇති බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ.

IMF ණය, අයවැය යෝජනා වෙනුවෙන් භාවිත කළ හැකියි – ශෙහාන්

අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම භාවිත කළ හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අවුරුදු 4 ක කාලසීමාව තුළ ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළින් ඉවතට යාමට නොහැකි බවත් ඒ හේතුවෙන් මෙම විශ්වාසවන්ත බව විනිවිදභාවය ආරක්ෂා කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

අයවැය පවත්වාගෙන යනවිට ඒ සඳහා සහයෝගය දැක්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් අනුමත කරන ලද මුදල් භාවිත කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

ජනතාවට දැනෙන සහනයක් ලබාදීමට කටයුතු කරනවා – කංචන

ඉන්ධන මිල සූත්‍රයට අනුව අප්‍රේල් මාසයේදී ජනතාවට සහනයක් ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව සිදු කරන බවයි.

ඒ අනුව අප්‍රේල් මාසයේදී එම මිල සූත්‍රය ක්‍රියාත්මක කරන බවත් බොරතෙල් මිල අඩුවීම හා රුපියල ශක්තිමත්වීම මත ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව ජනතාවට දැනෙන සහනයක් ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඩොලරයේ විකුණුම් මිල රු.334 දක්වා අඩු වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (21) සැලකියයුතු අඩු වීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොරයක ගැනුම් මිල රු.316.84ක් ලෙස හා විකුණුම් මිල රු.334.93ක් ලෙසයි අද ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

IMF ශ්‍රී ලංකාව සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 3 ක් අනුමත කරයි

ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ මූල්‍ය සහනයක් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව විස්තීරණ අරමුදල් පහසුකමේ අරමුණ වන්නේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ ශ්‍රී ලංකාවේ වර්ධන විභවය විවෘත කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් SDR බිලියන 2.286 (US$ බිලියන 3ක් පමණ) විස්තීරණ අරමුදල් පහසුකම යටතේ මාස 48 ක දීර්ඝ වැඩපිළිවෙළක් අනුමත කරන ලද බවයි වාර්තා වන්නේ.