රත්‍රං මිල පහළට

මෙරට රත්‍රං මිල ගණන් අද (27) දිනයේ පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ පවසනවා.

ඒ අනුව පසුගිය සිකුරාදා රුපියල් 161,000 ක් වූ කැරට් 22 රන් පවුමක මිල අද දිනයේ රුපියල් 158,300 ක් දක්වා පහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

එසේම සිකුරාදා රුපියල් 175,000 ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද දිනයේ රුපියල් 172,000 ක් දක්වා පහත වැටී ඇති බවයි කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළඳුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

රාජ්‍ය සේවකයන්ගේ පඩි ගෙවීමට IMF ණයෙන් කොටසක් ගන්නවා – බන්දුල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය පහසුකමෙන් කොටසක් රාජ්‍ය සේවකයින්ගේ මාර්තු සහ අප්‍රේල් වැටුප් ගෙවීමට යොදා ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

මාර්තු මාසයේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප්, විශ්‍රාම වැටුප් ඇතුළු දීමනා ලබාදීම සඳහා රුපියල් බිලියන 196 ක් පමණ වැයවන බවත්, අපේක්ෂිත ආදායම ඇත්තේ බිලියන 173 ක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව රුපියල් බිලියන 23 ක පමණ හිඟයක් පවතින බවත්, බහු පාර්ශවික ණය බිලියන 500 ක් ගෙවිය යුතු අතර මාර්තු මාසය සඳහා රුපියල් බිලියන 500 ක පමණ හිඟයක් පවතින නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය පහසුකමෙන් කොටසක් මේ සඳහා යොදා ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඉදිරියේදී බස් ගාස්තු අඩුවිය හැකියි – බන්දුල ගුණවර්ධන

ඉදිරියේදී බස් ගාස්තු අඩුවිය හැකි බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව, මිල සූත්‍රයකට අනුව බස් ගාස්තුව අඩුකරන්න පුළුවන් වෙන ආකාරයේ ඉන්ධන මිල සංශෝධනයක් සිදුවන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේර අමාත්‍යවරයා සඳහන් කළ බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

අමතර කොටස් සහ ආනයනය කරන දේවල පිරිවැය අඩුවීමේ වාසිය ජනතාවට ලබාදිය හැකි වනු ඇති බවයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළේ.

අද ඩොලරයේ විකුණුම් මිල රු.331 යි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (24) සුළු වැඩිවීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.314.74 ක් ලෙස හා විකුණුම් මිල රු.331.37ක් ලෙසයි අද ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

සතොස භාණ්ඩ වර්ග 10 ක මිල පහළ දමයි

ලංකා සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අර්තාපල්, ලොකු ළූණු, දේශීය සම්බා, වියළි මිරිස්, ටින් මාළු ඇතුළු භාණ්ඩ කිහිපයක මිල මෙලෙස අඩුකර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ භාණ්ඩ ලැයිස්තුව පහතින්,

30a4fc7b082cdcf6d1b1c0648e4a4729

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් 7ක රජය සතු කොටස් විකිණීමට අනුමැතිය

රාජ්‍ය ව්‍යවසායන් 07ක රජය සතු කොටස් අයිතිය පැවරීමට අනුමැතිය හිමිවූ බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසනවා.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහකරණ ඒකකය විසින් මෙම ගනුදෙනු විනිවිදභාවයකින් යුක්තව සිදු කිරීම සඳහා සුදුසු ආයෝජකයන් තෝරාගැනීම සඳහා දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍යවල දැන්වීම් පළකිරීමට කටයුතු කර තිබෙනවා.

අදාළ රාජ්‍ය ආයතන හා මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

1. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම (ශ්‍රී ලන්කන් කේටරින් සමාගම ඇතුළු)
2. ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී
3. සී/ස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
4. කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම (කොළඹ – ග්‍රැන්ඩ් හයට්)
5. හොටෙල් සංවර්ධන ලංකා සමාගම (කොළඹ හිල්ටන් හෝටලය)
6. සී/ස ලිට්‍රෝ ගෑස් පර්යන්ත (පුද්) සමාගම ඇතුලු ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම
7. ලංකා හොස්පිටල් සංස්ථා පී.එල්.සී.

IMF පළමු වාරිකය අද ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමෙහි පළමු වාරිකය අද (23) දිනයේ ලැබී ඇති බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පවසනවා.

ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 333ක් මෙලෙස පළමු වාරිකය ලෙස ලැබෙන බවයි ජනාධිපතිවරයා හා මාධ්‍ය ප්‍රධානීන් සමඟ අද පැවති සාකච්ඡාවේදී ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

යූරියා මිල අඩුකෙරේ

දේශීය වෙළෙඳපොළේ යූරියා පොහොර මිල අඩු කිරීමට පෞද්ගලික සමාගම් කිහිපයක් තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව යූරියා කිලෝ 50ක මිටියක මිල රුපියල් 18,500 සිට රුපියල් 11,000 දක්වා අඩු කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළේ.

අද ඩොලරයේ විකුණුම් මිල රු.328 යි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (23) සුළු අඩු වීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.311.26 ක් ලෙස හා විකුණුම් මිල රු.328.60ක් ලෙසයි අද ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

කිරිපිටි මිල පහළට

එළැඹෙන අප්‍රේල් 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ආනයනික කිරිපිටි 1kg පැකට්ටුවක මිල රුපියල් 200කින් සහ 400g පැකට්ටුවක මිල රුපියල් 80කින් අඩුකරන බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.