ආනයනික බිත්තරවලින් සෞඛ්‍යමය ගැටලු නිර්මාණය වන බවට මෙතෙක් තහවුරුවී නැහැ – PHI සංගමය

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තරවලින් සෞඛ්‍යමය ගැටලු නිර්මාණය වන බවට මෙතෙක් තහවුරු වී නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

බිත්තර සාම්පල වාර්තාවලින් ඒබව තහවුරු වී ඇති බවයි එහි සභාපති උපුල් රෝහණ මාධ්‍ය වෙත සඳහන් කළේ.

එම බිත්තර පරිභෝජනය කිරීමෙන්ද සෞඛ්‍යමය ගැටලු නිර්මාණය වන බවට අනාවරණ වී නොමැති බවත් ඒ සඳහා කිසිඳු සාක්ෂියක් පරීක්ෂණ මඟින් අනාවරණය නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මාර්ග දෙපස වෙළෙඳාම් කිරීමට අවස්ථාව දීම සම්බන්ධයෙන් විරෝධයක්

මාර්ගය දෙපස ව්‍යාපාර කටයුතු සිදුකිරීමට රජය මගින් අවසර ලබාදීමෙන් ආර්ථික මධ්‍යස්ථානවලට දැඩි බලපෑමක් එල්ලවන බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පවසනවා.

ඒ අනුව පදික වේදිකාවේ එළවළු විකිණීම මේ වෙලාවේ සුදුසු කටයුත්තක් නොවන බවයි ඔහු සඳහන් කරන්නේ.

ආර්ථික මධ්‍යස්ථානවල අද ව්‍යාපාරිකයන්ද ව්‍යාපාර කටයුතු සිදු කරන්නේ අපහසුතා මධ්‍යයේ බවයි සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර බෙදාහැරීම ඇරඹෙයි

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කළ බිත්තර තොග දිවයින පුරා සිටින බේකරි හා හෝටල්හිමියන් වෙත බෙදාහැරීමේ කටයුතු අද (01) සිට ආරම්භ වී තිබෙනවා.

අදාළ බිත්තර සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසා සිටියේ එම බිත්තර සෞඛ්‍යයට හානිදායක බවට වන කිසිම සාධකයක් මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි.

රත්‍රං මිල පහළට

අද (01) දිනයේ කැරට් 22 රන් පවුමක මිල රු. 162,800 ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ වාර්තා පේනවා දෙනවා. ඊයේ (31) දිනයේ කැරට් 22 රන් පවුමක මිල දැක්වුණේ රු. 165,600ක් ලෙසයි.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රු. 177,000 ක් දක්වා පහත වැටී ඇති අතර ඊයේ දිනයේ එහි මිල දැක්වුණේ රු. 180,000ක් ලෙසයි.

ආනයනික කිරිපිටි මිල අඩුවීම අද සිට

ආනයනික කිරිපිටි මිල අද (01) සිට අඩු කෙරෙන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව 1kg වන කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 200කින් සහ 400g කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80කින් අඩු කිරීමට නියමිතයි.

මාර්තු මාසයේ දී ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය ඉහළට – මහ බැංකුව

මෙම වසරේ ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය පෙබරවාරි මාසයේ පැවති සියයට 48.8හි සිට මාර්තු මාසයේ දී සියයට 51.7 දක්වා ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

කෙසේ‍ වෙතත් ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය පෙබරවාරි මාසයේ පැවති සියයට 54.4හි සිට මාර්තු මාසයේ දී සියයට 47.6 දක්වා පහළ ගොස් ඇති බවය මහ බැංකුව පවසන්නේ.

2023 මාර්තු මාසයේ දී කො.පා.මි. දර්ශකයේ මාසික වෙනස, සියයට 2.92ක් ලෙස වාර්තා වී ඇති අතර මෙයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි මාසික ඉහළ යෑම බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.

දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයට අවශ්‍ය වැඩ කටයුතු ලබන මාසයේ ආරම්භ කිරීමේ සූදානමක්

දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා අවශ්‍ය වැඩකටයුතු ලබන මාසයේ දී ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකු සහ භාණ්ඩාගාර ප්‍රධානීන් පවසනවා.

ඒ අනුව එය මැයි මාසය වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි වානිජ ණය හිමියන් යාවත්කාලීන කිරීමේ සැසියක් අමතමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් තොගයේ ප්‍රතිව්‍යූහගතකරණයක් කිරීමට අවධානය යොමුව ඇති බව එසේම සෙසු භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර දේශීය ණය සඳහා ස්වෙච්ඡා ණය ප්‍රශස්තකරණයක් බලාපොරොත්තු වන බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

රත්‍රං මිල යළිත් ඉහළට

මෙරට රන් මිල යළිත් වරක් ඉහළගොස් ඇති බව හෙට්ටිවීදිය රත්‍රං වෙළඳුන් පවසනවා.

ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් 165,600ක් ලෙස අද (31) දිනයේ සටහන්ව ඇති බවයි සඳහන් වන්නේ.

එසේම කැරට් 24 රන් පවුමක මිල අද දිනයේ සටහන්ව ඇත්තේ රුපියල් 180,000ක් ලෙස බවයි හෙට්ටිවීදිය රත්‍රං වෙළඳුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අද ඩොලරයේ විකුණුම් මිල රු.336 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (31) නැවත වැඩිවීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු 318.27 ක් ලෙස හා විකුණුම් මිල රු 336.01 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

සංශෝධිත බස් ගාස්තු අද සිට ක්‍රියාත්මකයි

සංශෝධනය වූ නව බස් ගාස්තු අද (31) සිට ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30 ක් දක්වා පහත දමා ඇති අතර අනෙකුත් බස් ගාස්තු 12.09% කින් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.