බිත්තර තොගයේ සහතිකය අද නිකුත් කෙරේ

පසුගියදා මෙරටට ආනයනය කළ බිත්තර තොගයේ සෞඛ්‍ය සහතික වාර්තාව අද (13) දින නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව විසින් පසුගිය සෙනසුරාදා දින අදාළ බිත්තර තොගයේ සාම්පල ලබාගෙන තිබූ අතර ඊයේ දිනය වනතෙක් ඒවා වරායෙන් නිදහස් කරගැනීම සඳහා සෞඛ්‍ය සහතිකය නිකුත් කර නොතිබූ බවයි සඳහන් වන්නේ.

ඒ අනුව පසුගිය සතියේ ගෙන්වූ බිත්තර තොගය ද හෝටල් සහ බේකරි කර්මාන්ත අතර බෙදාහැරිමට නියමිත අතර ඒ සඳහා ද මේ වනවිට ඇනවුම් බොහෝමයක් ඉදිරිපත් වී ඇති බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා IMF ඉදිරිපත්ව සිටිනවා – ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා

දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත්ව සිටින බව එහි කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා පවසනවා.

ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒකාබද්ධව වොෂින්ටන් හී පවත්වනු ලබන සමුළුවට එක් වෙමින් ඇය මේ බව සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට අර්බුදයෙන් මිදීම සඳහා සියල්ලන් එක්ව ඔවුන්ගේ කාර්යභාරය ඉටුකිරීම මේ මොහොතේ වැදගත්වන බවයි ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

මැයි මාසයේදී ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන්ට එළැඹීමට අපේක්ෂා කරනවා – මහ බැංකු අධිපති

එළැඹෙන මැයි මාසයේදී චීනය, ඉන්දියාව, පැරිස් සමාජය ඇතුළු ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන්ට එළැඹීමට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ අනුව ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහා නිල කමිටුවක් පත් කරන්නේද නැතහොත් ද්විපාර්ශවික සාකච්ඡා මඟින් අවසන් එකඟතාවකට එළැඹෙන්නේද යන්න පිළිබඳව අදාළ පාර්ශව සමග අවසන් තීරණයකට එළැඹෙන බව Reuters පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර තිබෙනවා.

එසේම ජාත්‍යන්තර ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවයට එළැඹීමට පෙර දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ අවසන් නිගමනයන්ට එළැඹීමට අපේක්ෂා කරන බවයි මහ බැංකු අධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

කුකුළු මස් රු. 1350 කට අඩුවෙන් අලෙවි කරන්න – කුකුළු ව්‍යාපාරික සංගමය

උත්සව සමයේ කුකුළු මස් කිලෝවක් රුපියල් 1350 කට අඩු මුදලකට පමණක් මිලදී ගන්නා ලෙස සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරික සංගමය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

එහි සභාපති අජිත් ගුණසේකර සඳහන් කළේ, උත්සව සමය හේතුවෙන් කුකුළු මස් ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි.

කුකුළු මස් මිල වැඩි කිරීමට කිසිඳු හේතුවක් නොමැති බවත් සියලුම වෙළඳුන්ගෙන් එම මිලට වඩා අඩුවෙන් අලෙවි කරන ලෙස ඉල්ලා සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

උත්සව සමයේ බිත්තරයක් රු.50 ට වඩා අඩුවෙන් අලෙවි කරන්න – බිත්තර නිෂ්පාදකයින්

උත්සව සමය තුළ බිත්තරයක් රුපියල් 50 කට අඩු මුදලකට අලෙවි කිරීමට පියවර ගන්නා ලෙස සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය වෙළඳුන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව එහි සභාපති සරත් රත්නායක සඳහන් කළේ, මෙම දින තුනක හතරක කාලය තුළ හෝ මිල අඩුවෙන් පාරිභෝගිකයන්ට බිත්තර ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවයි.

ව්‍යාජ මුදල් සංසරණය සම්බන්ධයෙන් පොලීසියෙන් දැනුම් දීමක්

උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය විය හැකි බැවින් සාප්පු සවාරි යන මහජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බව පොලීසිය පවසනවා.

ජාවාරම්කරුවන් උත්සව සමයේදී ව්‍යාජ මුදල් නෝට්ටු වෙළඳපලට එක් කිරීමට උත්සාහ දරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ.

එමෙන්ම තමන්ගේ ගමන් මළු හා භාණ්ඩ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

බිත්තර ආනයනයෙන් ජනතාවට කිසිඳු සහනයක් ලැබුණේ නැහැ – කුකුළු ව්‍යාපාරිකයන්

බිත්තර ආනයනය කිරීමෙන් ජනතාවට කිසිඳු සහනයක් ලැබී නොමැති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව එහි ජ්‍යෙෂ්ඨ අනුශාසක මාතලී ජයසේකර සඳහන් කළේ, මෙලෙස බිත්තර ආනයනයෙන් සිදුවූයේ දේශීය බිත්තර ව්‍යාපාරිකයින් කර්මාන්තයෙන් ඉවත්වීමේ පසුබිමක් නිර්මාණයවීමක් පමණක් බවයි.

රජය බිත්තර ආනයනය කර බලාපොරොත්තු වූයේ උත්සව සමයේ කේක් ඇතුළු නිෂ්පාදනවල මිල පහත හෙළීමට බවත් එයද සාර්ථක නොවූ බවත් පාරිභෝගිකයින්ටද මේ තුළින් කිසිඳු සහනයක් නොලැබුණු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මුළු රටේම බිත්තර මිල රු.35 වෙන දවස​ට ආහාර මිල අඩු කරන්න පුළුවන් – බේකරි හිමියන්

රටේ දෛනික බිත්තර අවශ්‍යතාව ලක්ෂ 50 කට වැඩි බවත් තවමත් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇත්තේ බිත්තර ලක්ෂ 20 ක ප්‍රමාණයක් පමණක් බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සහාපති එන්.කේ ජයවර්ධන පවසනවා.

මේ වනවිට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයට බිත්තර ලක්ෂ 3 ක් පමණ ලැබී ඇති අතර එය එක් බිත්තරයක් රුපියල් 35 ක මුදලකට බේකරි 25 කට පමණ බෙදාහැර ඇති බවත් ලංකාව පුරා බේකරි 6000 ක් පමණ ඇති බවයි ඔහු සඳහන් කළේ.

ලංකාව පුරා සෑම බේකරියකටම බිත්තර රුපියල් 35 කට ලබා ගැනීමේ හැකියාව ඇත්නම් එදිනට කෑම මිල අඩුකළ හැකි බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සහාපති එන්.කේ ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට එවූ විදෙස් ප්‍රේෂණ ඉහළට

පසුගිය මාසයේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් ඩොලර් මිලියන 568.3ක් මෙරටට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව මේ වසරේ පළමු මාස 3 තුළදී මෙරටට ලැබී ඇති විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1,413.2 ක් බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

පසුගිය වසරේ එම කාලසීමාව සමඟ සසඳන විට එය 80.6% ක වර්ධනයක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ.

භාණ්ඩ වර්ග කිහිපයකට ආනයන තහනමක් පනවයි

භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා ආනයන තහනමක් පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එක් වරක් පමණක් භාවිත කළ හැකි බීම බට ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි ගෑරුප්පු ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක් මේ සඳහා ඇතුළත් බවයි සඳහන් වන්නේ.

අදාළ තහනම එලඹෙන ජුනි 01 දා සිට බලපැවැත්වෙන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.