පොලී අනුපාති​ක අඩු කිරීම සඳහා අද මහ බැංකුවෙන් චක්‍රලේඛයක්

ප්‍රතිපත්ති පොලී අනුපාතයන්ට ගැළපෙන ආකාරයෙන් සෙසු පොලී අනුපාතිකයන් ද සාමාන්‍යකරණය කිරීම සඳහා අද (25) චක්‍රලේඛයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ අනුව සියලුම බලපත්‍රලාභී බැංකුවල උකස් පහසුකම් මත වාර්ෂිකව 18% ක්, පෙර ගිවිසගෙන ඇති තාවකාලික බැංකු අයිරා මත වාර්ෂිකව 23% ක්, ණය කාඩ්පත් මත වාර්ෂිකව 28% ක් ලෙස උපරිම පොලී අනුපාතික සීමා පැනවීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇති බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

ප්‍රතිපත්ති පොලී අනුපාතයන්ට ගැළපෙන ආකාරයෙන් බැංකු විසින් පොලී අනුපාත පහළ හෙළීමට කටයුතු නොකිරීම නිසා මෙලෙස නියාමන ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

IMF කොන්දේසිවලින් ඉටුකර ඇත්තේ 35% ක් පමණයි – Verite Research

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකා රජය ඇති කරගත් ගිවිසුමේ කොන්දේසිවලින් 35% ක් පමණක් සම්පූර්ණ කර ඇති බව Verite Research ආයතනය පවසනවා.

වාර්තාවක් නිකුත් කරමින් ඔවුන් පෙන්වාදී ඇත්තේ, මේ වසරේ ජූලි මාසය වන විට එම වැඩසටහනේ 57% ක කොන්දේසි ඉටු කළ යුතුව තිබුණ ද ඉටුකර ඇත්තේ 35% ක් පමණක් බවයි.

සැප්තැම්බර් මාසයේ දී පැවැත්වෙන පළමු සමාලෝචනයට පෙර 71% ක කොන්දේසි ශ්‍රී ලංකා රජය විසින් ඉටු කළ යුතු වන බැවින් අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල දී මසකට කොන්දේසි 18 බැගින් ඉටු කිරීමට රජයට සිදුව ඇති බවද ඔවුන් පෙන්වාදී තිබෙනවා.

මේ වන විට සම්පූර්ණ කර ඇති හා සම්පූර්ණ කිරීමට ඇති කොන්දේසි ලැයිස්තුව මෙතැනින්.

ඉදිරියේදී කුකුළු මස් කි​ලෝවක් රුපියල් 1,200කට දෙන්න පුළුවන් – සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය

ඉදිරියේ දී කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,200 ක මිලකට අලෙවි කළ හැකි බව සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය නිවේදනය කරනවා.

බඩඉරිඟු සඳහා වන ආනයන බද්ද අඩු කිරීමට රජය පියවර ගැනීම හේතුවෙන් මෙලෙස කුකුළු මස් මිල අඩු කළ හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

බඩඉරිඟු මත පනවා තිබූ ආනයන බද්ද පහළට

බඩඉරිඟු මත පනවා තිබූ ආනයන බද්ද පහළ දැමීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව බඩඉරිඟු කිලෝග්‍රෑම් 01ක් මත පනවා තිබූ රුපියල් 75ක ආනයන බද්ද රුපියල් 25 දක්වා අඩු කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

හෙට (17) සිට ලංකා සතොස ආයතන විසින් භාණ්ඩ වර්ග 9 ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව බාස්මතී, දුඹුරු සීනී, අර්තාපල්, සුදු ළුණූ, රතු කැකුළු ඇතුළු භාණ්ඩ කිහිපයක් මෙලෙස පහළ දමා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ භාණ්ඩ ලැයිස්තුව ඇතුළත් නිවේදන පහතින්.

64dcbed2b9423

සිනොපෙක් සමාග‍ම සැප්තැම්බර් මස 20 සිට ඉන්ධන අලෙවියට සැරසේ

චීනයේ සිනොපෙක් සමාගම සැප්තැම්බර් මාසයේ 20 වනදා මෙරට ඉන්ධන අලෙවි කිරීමේ කටයුතු ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව මේ වන විට එම සමාගම බෙදුම්කරුවන් 115 ක් සමඟ ගිවිසුම් අත්සන් කර ඇති බවත්, ඉදිරි දින කිහිපය තුළ බෙදුම්කරුවන් 150 ම සමග ගිවිසුම් අත්සන් කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවට එම සමාගම දැනුම් දී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

දැනට වෙළෙඳපොළේ ඉන්ධන අලෙවි කරන උපරිම මිලට වඩා අඩු මිලකට ඉන්ධන අලෙවි කිරීමට එම සමාගම කටයුතු කරනු ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩි දුරටත් සඳහන් කළේ.

ඉදිරි මාස 6 තුළ පවතින ආර්ථික දුෂ්කරතා සැලකිය යුතු මට්ටමකින් අඩු වේවි – ශෙහාන් සේමසිංහ

ඉදිරි මාස හයක කාලය තුළ මේ වන විට පවතින ආර්ථික දුෂ්කරතා සැලකිය යුතු මට්ටමකින් අඩුවනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

නැවතුන බොහෝ ක්ෂේත්‍ර යළි පණ ගැන්වීමට ආණ්ඩුවට හැකියාව ලැබී ඇති බවත් 2024 වසර යළි සුපුරුදු පරිදි නැගී සිටින වසරක් වනු ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන සමාලෝචනය ලංවන විට යළි වැඩ වර්ජන උද්ඝෝෂණ ආරම්භ කිරීමට විවිධ පිරිස් කටයුතු කරමින් ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

බඩඉරිඟු ආනයනය කරන්න දෙනවා නම් දෙසැම්බර් වෙද්දි බිත්තරයක් 35කට දෙන්න පුළුවන් – සත්ත්ව නිෂ්පාදක​යන්

බඩඉරිඟු ආනයනය කිරීම සඳහා අවසර ලබා දෙන්නේ නම්, මේ වසරේ දෙසැම්බර් මාසය වන විට බිත්තරයක් රුපියල් 35ක මිලකට ලබා දිය හැකි බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.
පාලන මිල ඉවත් කිරීම හේතුවෙන් මේ වන විට බිත්තර අලෙවි ජාලය ශක්තිමත් වෙමින් පවතින බවයි එහි සභාපති අජිත් ගුණසේකර වැඩිදුරටත් සඳහන් කළේ.

MTFE ගැන මහ බැංකුවෙන් විමර්ශනයක්

MTFE SL Group ආයතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීමේ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ ආයතනයේ ක්‍රියාකාරකම් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම යටතට වැටෙන බවට විශ්වාස කළ හැකි කරුණු අනාවරණ වෙමින් පවතින බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

2023 ලංකා ප්‍රිමියර් ලිග් තරගාවලියේ අනුග්‍රාහකයෙකු ලෙසද කටයුතු කළ MTFE ආයතනයට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධය එල්ලවීමත් සමඟ අනුග්‍රාහකත්වය ඉවත් කර ගැනීමට පසුව කටයුතු කර තිබුණා.

අද ඩොලරයේ විකුණුම් මිල රු.328 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (07) ඉහළ යෑමක් සිදුව තිබෙනවා.
ඒ අනුව, අද ඩොලරයක ගැනුම් මිල රු. 315.05 ක් ලෙස හා විකුණුම් මිල රු. 328.57 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.