අද මධ්‍යම රාත්‍රීයේ සිටි ආනයනික කිරිපිට මිල පහළට

අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව කිලෝ 1ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 150 කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර ග්‍රෑම් 400ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 60කින් පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් අදයරට – The Hindu

ඉන්දියාවට සහ පැරිස් සමාජයේ රටවල් සඳහා ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සඳහා වසර 6ක සහන කාලයක් ලැබීමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ණය නැවත ගෙවීම ආරම්භ කළ පසු පොලිය ද අඩු කෙරෙන බවයි ඉන්දියාවේ The Hindu වෙබ් අඩවිය වාර්තා කර තිබෙන්නේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා මේ වන විට අවසන් අදියරේ පවතින බවත් කොන්දේසි සම්බන්ධයෙන් මූලික එකඟතාවය ඉක්මණින් එළඹෙනු ඇති බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

බිත්තර සඳහා යළි උපරිම මිලක් පැනවීමට අවධානය

බිත්තර සදහා උපරිම සිල්ලර මිලක් පැනවීමේ ගැසට්ටුව පළ කිරීමට අදාල මිල ගණන් ඇතුළත් යෝජනාව මෙම සතිය තුළ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා වන පිරිවැය රුපියල් 30ක් පමණ වන බවත්, අද දිනය තුළ මෙරට බිත්තර නිෂ්පාදනය බිත්තර මිලියන 5.8ක් බවත්, දෛනික බිත්තර පාරිභෝජන අවශ්‍යතාවය බිත්තර මිලියන 7.5ක් බවත් එහිදී අනාවරණ කෙරුණු බවයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළේ.

බිත්තරයක නිෂ්පාදන මිල රුපියල් 30ක් නම් වෙළෙදපළේ අලෙවි කරන බිත්තරයක මිල රුපියල් 60ක් දක්වා ඉහළ මට්ටමක පැවැතීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බවද, එබැවින් බිත්තර සඳහා පනවන උපරිම සිල්ලර මිල බිත්තර නිෂ්පාදකයා, පාරිභොගිකයා මෙන්ම සිල්ලර වෙළෙන්දා ද ආරක්ෂා වන පරිදි පැනවිය යුතු බව එහිදී අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර තිබෙනවා.

ඩොලරයේ විකුණුම් මිල රු.316 දක්වා පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන දෛනික විනිමය අනුපාත අනුව අද (22) දිනයේ රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු.306.53 ක් සහ විකුණුම් මිල රු.316.06 ක් ලෙසයි අද ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් PAN ASIA BANK වෙත ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කටයුතු කිරීමට ලබාදී තිබු බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කර ඇත

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් PAN ASIA BANK වෙත ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කටයුතු කිරීමට ලබාදී තිබු බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කර ඇත

මෙම අත්හිටුවීම පෙබරවාරි මස (15) වන දිනයේ සිට මාස හයක කාලයකට දීර්ඝ කර ඇති අතර PAN ASIA BANK විසින් මේ බව කොළඹ කොටස් වෙළදපල වෙත දන්වා ඇත.

මහ බැංකුව විසින් බලපත්‍රයක් අත්හිටුවීම PAN ASIA BANK හි සාමාන්‍ය කටයුතු හා ද්විතීක වෙළඳපළ ගණුදෙනු වලට බලපෑමක් සිදු නොකරන බවද එම නිවේදනයේ සඳහන් වේ.

බිත්තර මිල යළිත් ඉහළට

වෙළඳපොලේ දේශීය බිත්තරයක මිල යළිත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

VAT බද්ද ඉහළ යාම හේතුවෙන් රුපියල් 09 ක පමණ අමතර අගයක් මේ වනවිට බිත්තරයක මිලට එකතු වන බවයි එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර ප්‍රකාශ කළේ.

බිත්තර මිල ඉහළ යාම වැළැක්වීම සඳහා මිල නියාමන කමිටුවක් පත් කරන ලෙස රජයට ඉල්ලීම් කළ ද මේ දක්වා ඒ සඳහා රජය මගින් කිසිදු පියවරක් ගෙන නොමැති බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරනවා.

විදෙස් සංචිත ඩොලර් බිලියන 4.4 ක් දක්වා ඉහළට – මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 ජනවාරි මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 4.4 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙය 2023 දෙසැම්බර් මාසය අවසානයේ වාර්තා වූ ඩොලර් මිලියන 4,392 ක නිල සංචිත වත්කම් හා සැසඳීමේ දී 2.3% ක වර්ධනයක් බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.

මෙම සංචිත ප්‍රමාණයට චීන හුවමාරු පහසුකම ද ඇතුළත් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

තේ පොහොර මිටියක මිල රුපියල් 8500කට අඩුකෙරේ

තේ සඳහා යොදන පොහොරවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් රජයට අයත් පොහොර සමාගම්වලට උපදෙස් දී ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව, දැනට රුපියල් 12,000 සිට රුපියල් 14,000 දක්වා මිලකට අලෙවි වන තේ පොහොර මිටියක මිල රුපියල් 8500/- ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

තේ පොහොර මිල වැඩි නිසා‍ වගා හිමියන් තේ වගාවට පොහොර නොයෙදීමේ ප්‍රවණතාවක් පවතින බවත්, එම නිසා නෙලා ගන්නා දළු ප්‍රමාණය බොහෝ සෙයින් අඩු වී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

බදු අභියාචනා කාලය වසර 2 සිට මාස 6 දක්වා අඩු කිරීමට අවධානය

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා  වෙත බදු අභියාචනයකට ලබාදී තිබු වසර 2ක කාලසීමාව මාස 6 දක්වා අඩු කිරීමට ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යෝජනා කර තිබෙනවා.

ඒ අනුව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට අභියාචනා විභාග කිරීම සඳහා පවතින වසර දෙකක කාලය වැඩි බවත් එය මාස හයක් දක්වා අඩු කිරීම යෝග්‍ය බවත් ප්‍රකාශවී ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කොමසාරිස් ජනරාල් වෙත බදු අභියාචනය ලැබුණු පසු ඔහුගේ නියෝගය මාස 6ක් තුළ ලබාදිය යුතු අතර බදුකරු එම තීන්දුව හා එකඟ නොවේ නම් මාසයක් ඇතුළත බදු අභියාචනා කොමිෂන් සභාවට අභියාචනා කළ යුතු බව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව දැනුම්දී තිබෙනවා.

එමෙන්ම බදු අභියාචනා කොමිෂන් සභාව ද මාස හයක් ඇතුළත සිය තීරණය ලබාදිය යුතු බවත් වෙනත් නීතිමය ගැටලුවක් පවතී නම් ඒ සඳහා අභියාචනාධිකරණයට අභියාචනා කළ හැකි ආකාරයට ඊට අදාළ පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ද ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ONMAXDT පිරමිඩ වංචාවට සම්බන්ධ තවත් සැකකරුවෙක්ට වරෙන්තු

ONMAXDT (pvt) Ltd යන නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් නීති විරෝධී ආකාරයේ පිරමීඩ මූල්‍ය ජාවාරමක් සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධව තවත් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් ඊයේ (11) වරෙන්තු නිකුත් කළා.

මෙම මූල්‍ය ජාවාරම සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් ONMAXDT ආයතනයේ අධ්‍යක්ෂකවරුන් 5 දෙනෙකු මේ වනවිට ඇප මත මුදා හැර සිටිනවා.

මෙහිදී රුපියල් කෝටි 3000ක පමණ මූල්‍ය වංචාවක් සිදුව ඇති බවත්, එම මුදල් මගින් සැකකරුවන් හෝටල්, ඉඩම්, වාහන ඇතුළු රුපියල් කෝටි ගණනක් වටිනා දේපළ මිලදීගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නා.

මෙම පිරමීඩ මූල්‍ය වංචාවට පුද්ගලයන් දෙලක්ෂ විසි දහසකට ආසන්න පිරිසක් ගොදුරු වී ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.

එසේම මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති පරිගණක, දුරකථන ඇතුළු භාණ්ඩ පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය වෙත යොමු කර වාර්තාවක් කැඳවීමටද අධිකරණය අවසර ලබාදුන්නා.