මාස 34 කට පසු කොටස් වෙළෙඳපොළේ දරුණුතම කඩාවැටීම අද වාර්තා වෙයි

අද (05) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත කඩා වැටීමක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 500.39 කින් පහළ ගොස් ඒකක 16,456.10 ක් ලෙසින් සටහන් වී ඇති බවයි සඳහන් වෙන්නේ.

එය 2022 අප්‍රේල් මස 26 වන දිනෙන් පසු මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් ඇතුළත කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය වැඩිම ඒකක ගණන ලෙසයි වාර්තා වෙන්නේ.

අද දිනයේ S&P SL20 මිල දර්ශකය ද ඒකක 167.18 කින් පහළ ගොස් ඒකක 4,898.04 ක් ලෙස සටහන් වූ අතර අද ගණුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 6.35 ක් වාර්තා වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

සුප්‍රසිද්ධ ව්‍යාපාරි​ක හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රසිද්ධ කර්මාන්තකරුවෙකු සහ ව්‍යාපාරිකයෙකු වන හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 82 වන වියේ පසුවූ බවයි සඳහන් වෙන්නේ.

හැරී ජයවර්ධන Distilleries Company, Aitken Spence, Lanka Milk Foods, Melstacorp, Balangoda Plantations, Browns Beach Hotels, HNB Bank, DFCC Bank ඇතුළු සමාගම් රැසක කොටස් හිමියෙක් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු හා සභාපතිවරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.

කොටස් වෙළෙඳපොළ අගය ජනවාරියේදී 7%කින් ඉහළට

මෙම වසරේ ජනවාරි මාසය තුළදී 7.39% ක වර්ධනයක් ලඟා කර ගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සමත් වී තිබෙනවා.

ඒ අනුව 2025 වසර ආරම්භයේ දී ඒකක 15,944.61 ක් ලෙසින් සටහන් වූ සියලු කොටස් මිල දර්ශක අගය, ඊයේ (31) දිනයේ සියලු ගනුදෙනු අවසානයේ දී ඒකක 17,122.7 ක් දක්වා ඉහළ ගොස්, මෙතෙක් ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය වාර්තා කළ ඉහළම අගය ලෙස සටහන් වී තිබුණා.

එසේම, ඊයේ දිනයේ දී රු. බිලියන 5.15ක සමස්ත ගනුදෙනු පිරිවැටුමක් ද වාර්තා වී තිබෙන බවයි සඳහන් වන්නේ.

IOC සහ SINOPEC සමාගම්වලත් සුපර් ඩීසල් මිල ඉහළ

ලංකා IOC සහ SINOPEC සමාගම්වල ඉන්ධන මිලද සංශෝධනය කිරීමට එම සමාගම් කටයුතු කර තිබෙනවා.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට සමාන වන පරිදි සුපිරි ඩීසල් මිල සංශෝධනය කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව සුපර් ඩීසල් මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 18 කින් ඉහළ නැංවීමට එම සමාගම් තීරණය කර ඇති අතර නව මිල රුපියල් 331 ක් ලෙසයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

සුපිරි ඩීසල් මිල ඉහළට

ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව සුපිරි ඩීසල් මිල රුපියල් 18 කින් වැඩි කිරීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 331 ක් ලෙසයි සඳහන් වෙන්නේ.

අනෙකුත් මිල ගණන් නොවෙනස්ව පවතින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

679cde5d8f064

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට කටයුතු කර ඇති බව ලංකා සතොස ආයතනය පවසනවා.

ඒ අනුව ලොකු ළූණු, පාන්පිටි, සුදු සීනි, රතු පරිප්පු හා රතු කැකුළු සහල් මිල මෙලෙස අඩු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව මෙම මිල අඩු කිරීම අද සිට දිවයින පුරා සතොස අලෙවිසැල් වලින් ලබා ගත හැකි බවයි එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ මිල දර්ශනය පහතින්.

විදුලි ගාස්තු 20% කින් පහතට

අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු 20% කින් අඩුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් මහජන උපයෝගීතා කොමිසම මේ බව සඳහන් කළා.

විදුලිබල මණ්ඩලය විසින් ගාස්තුවල කිසිඳු සංශෝධනයක් සිදු නොකරන ලෙස මහජන උපයෝගීතා කොමසමට යෝජනා කර තිබූ බවත් අනතුරුව මහජන උපයෝගීතා කොමිසම 11% ක ගාස්තු අඩු කිරීමක් යෝජනා කළ බවත් පසුව මහජන උපදේශනය ලබා ගැනීමෙන් අනතුරුව ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය ප්‍රකාශයට පත් කළ බවයි බව මහජන උපයෝගීතා කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් වැඩිදුරටත් සඳහන් කළේ.

අද කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන ඉහළ යාමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (15) කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 226.35 කින් ඉහළ ගොස්, ඒකක 16,152.35 ක් ලෙසත්, S&P SL20 දර්ශක අගය ඒකක 97.63කින් ඉහළ ගොස් ඒකක 4,905.92 ක් ලෙසත් සටහන් වී ඇති බවයි සඳහන් වෙන්නේ.

අද දිනයේ ගනුදෙනු පිරිවැටුම ලෙස රුපියල් බිලියන 4.44 ක් වාර්තා වී ඇති බවද වැඩිදුරටත් සඳහන්.

සිමෙන්ති සඳහා සෙස් බද්ද අඩුකිරීමේ යෝජනාවට අනුමැතිය

සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීමට මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ගෙන ආ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව සිමෙන්ති කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියලක මුදලක් අඩුවන අතර, එමගින් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් පමණ අඩුවන බවයි මුදල් අමාත්‍යාංශ නිලධාරීන් දැනුම් දී ඇත්තේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතිය ලබාදී ඇති බව වැඩිදුරටත් සඳහන්.

වාහන මිල සම්බන්ධයෙන් ගණනයක් කළ හැක්කේ ආනයනයෙන් පසුවයි – වාහන ආනයනකරුවන්

වාහන ආනයන බදු 400% ත් 500% ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

මේ වනවිට වාහන සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව එහි අඩංගුවන්නේ එක බදු වර්ගයක් පමණක් බවත් මෙයට තවත් බදු වර්ග 4 ක් එක්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසන්නේ.

පැරණි වාහනවල මිලට වඩා නව වාහනවල මිල ඉහළ යන තත්ත්වයක් පෙන්නුම් කරන බවත් තවමත් නිවැරදි ගණනය කිරීමක් සිදු කළ නොහැකි නිසා පෙබරවාරි 1 වනදා වාහන ආනයනය කරන තෙක් ඉවසීමෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළා.

වාහන ආනයනයෙන් පසුව වාහනවල මිල සම්බන්ධයෙන් අදහසක් ලබාගැනීමට හැකි බවත් එතෙක් කිසිඳු පුද්ගලයෙකුට අත්තිකාරම් මුදල් ගෙවීමෙන් වළකින ලෙසයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.