Online ක්‍රමයට දඩ ගෙවීමට නව ක්‍රමවේද​යක් ළඟදීම හඳුන්වා දෙනවා – වැඩබලන පොලිස්පති

Online ක්‍රමය ඔස්සේ ස්ථානීය දඩ පත්‍රිකාවලට අදාළව දඩ මුදල් ගෙවීමේ ක්‍රමවේදයක් නුදුරේදීම හඳුන්වාදෙන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවයි අද (22) පැවති උත්සවයක් අමතමින් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ.

ඒ අනුව මෙම ක්‍රමය හරහා රථ වාහන වරද සම්බන්ධයෙන් දඩය පනවන පොලිස් නිලධාරියා හරහා ඇති උපකරණයෙන් හෝ තමාගේ ජංගම දුරථකථනයෙන් දඩ මුදල ගෙවීමට හැකි වන බවත්, මේ හරහා අදාළ ප්‍රදේශයටම ගොස් දඩ මුදල ගෙවීමේ අවශ්‍යතාවක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මාලිම්බඩ, තෙලිජ්ජවිල මංසන්ධියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

මාලිම්බඩ, තෙලිජ්ජවිල මංසන්ධියේ ඊයේ (20) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජංගම දුරකථන අලෙවිසැලක් තුළ සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි වියේ පසුවූ වැලිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් බවයි සඳහන් වන්නේ.

ඝාතනයට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාලිම්බඩ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

යුක්තිය මෙහෙයුමෙන් සැකකරුවන් 987 දෙනෙකු අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුම යටතේ පසුගිය පැය 24 ක කාලය තුළ සිදු කරන ලද වැටලීම්වලදී සැකකරුවන් 987 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

ඒ අනුව මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 663ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 324ක් ඊට ඇතුළත් බවයි පොලීසිය සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් 638 දෙනා අතරින් සැකකරුවන් 12 දෙනෙකුට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරන අතර වත්කම් විමර්ශන 05ක් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 14ක් පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම මෙහෙයුමේදී හෙරොයින් 270gක්, අයිස් 140gක්, ගංජා 18kgයි 358gක්, ගංජා පැළ 27,242ක්, මත්පෙති 1,080ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

කැලණිය අවට අද විශේෂ රථ වාහන සැලැස්මක්

කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු මහා පෙරහැර හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව අද (21) දිනයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වනවා.

දුරුතු මහා පෙරහැරට සමගාමීව අද පස්වරු 3.00 සිට රාත්‍රී 8.00 දක්වා දේවදූත පෙරහැර වීදි සංචාරය කිරීම හේතුවෙන් කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වන එම පෙරහැර පෑලියගොඩ මාර්ගයේ පිලපිටිය හන්දිය දක්වා වීදී සංචාරය කර ගෝනගම්පළ මාර්ගයෙන් වරාගොඩ මාර්ගයට පිවිසෙන බවයි පොලීසිය සඳහන් කළේ.

ඉන් අනතුරුව වරාගොඩ මාර්ගයෙන් නුංගංගොඩ දක්වා එම පෙරහැර වීදි සංචාරය කර ගල්බොරැල්ල, වළංකඩ හන්දියෙන් දකුණට හැරී විහාර මාවත ඔස්සේ කැලණි රජමහා විහාරස්ථානයේ නවලෝක වාහල්කඩින් විහාරස්ථානයට ගෙවදීමට නියමිතයි.

වැඩ තහනම් කළ ලංවිම සේවක සංඛ්‍යාව 66 දක්වා ඉහළට

ලෙඩ නිවාඩු වාර්තා කර විරෝධතාවකට සහභාගිවීමේ චෝදනාව මත තවත් සේවකයින් 51 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ අනුව මෙලෙස වැඩ තහනම් කරන ලද සියලු සේවකයින් මුදල් අයකැමිවරුන් බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත සඳහන් කළේ.

මීට පෙර මුදල් අයකැමිවරුන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර තිබූ අතර මේ වනවිට වැඩ තහනම් කළ මුලු සේවක සංඛ්‍යාව 66 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නාවික හමුදා මෙහෙයුමකින් විෂ මත්ද්‍රව්‍ය රැගත් ධීවර යාත්‍රා දෙකක් අත්අඩංගුවට

නාවික හමුදා බුද්ධි අංශය විසින් සිදු කළ මෙහෙයුමක දී හෙරොයින් යැයි සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ධීවර යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙරට දකුණු මුහුදේ දී බහුදින ධීවර යාත්‍රාවක් සහ එක් දින ධීවර යාත්‍රාවක් මෙලෙස සිය භාරයට ගත් අතර, එම යාත්‍රාවල සිටි පුද්ගලයන්ද අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ධීවර යාත්‍රා ගාල්ල වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරනවා.

සරම්ප ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩසටහනක් අද හා හෙට

සරම්ප ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩසටහනක් අද (20) සහ හෙට දීප ව්‍යාප්තව ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මෙම එන්නත් වැඩසටහන වයස මාස 09ත් අවුරුදු 15ත් අතර දරුවන් සඳහා ක්‍රියාත්මක බව බවයි සඳහන් වන්නේ.

සෑම දිස්ත්‍රික්කයකම තිබෙන එන්නත්කරණ මධ්‍යස්ථානවලට පැමිණීමෙන් මෙතෙක් සරම්ප එන්නත් ලබා නොගත් දරුවන් සඳහා එන්නත ලබා ගැනිමේ හැකියාව පවතින බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

පවුල් ආරවුලක් සම්බන්ධයෙන් හොරණ අධිකරණයේ විභාගය වන නඩුවකට සහභාගිවීම සඳහා පැමිණි පුද්ගලයකු පවුල් උපදේශන කාර්යාලය තුළදී තම කුඩා දරුවා ඉදිරිපිට බිරිඳට පහර දීම සම්බන්ධයේන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පවසයි.

පවුල් ආරවුලක් සම්බන්ධයෙන් හොරණ අධිකරණයේ විභාගය වන නඩුවකට සහභාගිවීම සඳහා පැමිණි පුද්ගලයකු පවුල් උපදේශන කාර්යාලය තුළදී තම කුඩා දරුවා ඉදිරිපිට බිරිඳට පහර දීම සම්බන්ධයේන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පවසයි.

මෙම
පහරකෑමෙන් කාන්තාව ලේ ගලන තුවාල සහිතව සිහිසුන්ව බිම ඇද වැටී ඇත. පසුව 1990 සුවසැරිය ගිලන් රථය ගෙන්වා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුලත් කර ඇත.
මෙම යුවල තම එකම දරුවාගේ අයිතිය ඔවුන් දෙදෙනාටම ඉල්ලා ඇති නඩුවක් විභාග වන බව පොලිසිය පවසයි.

අධිකරණ නියෝග මත ඔවුන් දෙපල පවුල් උපදේශන නිලධාරියා උපදෙස් ලබාගැනීමට යොමුකර තිබී ඇත.
උපදේශන නිලධාරියා පැමිණෙන විට කාර්යාලය තුල දරුවා හඬමින් සිට ඇති අතර ලේ ගලන තුවාල සහිතව බිම වැටී සිටි කාන්තාව දැක පොලිසියට දැනුම් දී ඇත.
හොරණ පොලිසියේ පොලිස් සැරයන් 41052 ප්‍රියන්ත මහතා දැනුම් දීම මත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පරාක්‍රම ගුණරත්න මහතා විසින් එම ස්ථානයේදී සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්වූයේ හඳපාන්ගොඩ, මෙනේරිගම ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිද එක් දරු පියෙකි.
අධිකරණ සංවිධාන පනතේ අංක 55 හා දණ්ඩනීති සංග්‍රහයේ 314 හා 316 වගන්ති යටතේ අත් අඩංගුවට ගත් සැකකරු 18 දා හොරණ අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ලඛන 29 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හොරණ වැඩ බලන මහේස්ත්‍රාත් සුනිල් ගුණරත්න මහතා විසින් නියෝග කර ඇත.

ගල්පාත චන්දන පෙරේරා

ශානි අබේසේකරගේ පුද්ගලික ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට නියෝග

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානී අබේසේකරගේ පුද්ගලික ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යෙදවීමටත්, ඔහුගේ පෞද්ගලික පිස්තෝලයේ බලපත්‍රය නැවත ලබා දීමට ඇති හැකියාව සොයා බලා ඊට අදාළ කරුණු වාර්තා කරන ලෙසටත් අභියාචනාධිකරණය විසින් නීතිපතිවරයාට දැනුම් දුන්නා.

සිය ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ශානි අබේසේකර ගොනුකල රීට් පෙත්සම ද්වි පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ නැවත සලකා බැලුනු අතර, එහිදී මෙම නියෝගය ලබාදෙනු ලැබුවා.

ශානි අබේසේකරගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 8 ක් අනියුක්ත කර ඇති බව පැවසුන නමුත්,  ආරක්ෂාව සැලසීමේ කටයුතුවල නිරතව ඇත්තේ පොලිස් නිලධාරීන් 3-4 ක් පමණක් බවයි ශානි අබේසේකරගේ නීතිඥවරයා පෙන්වා දුන්නේ.

සිය සේවාදායකයාට රාජකාරි කාලය තුළ ද ජීවිත තර්ජන එල්ල වී තිබුණු බවත්, ඔහුගේ ආරක්ෂාව සලකා බලා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යෙදවීමට කටයුතු කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

X-Press Pearl නෞකාවෙන් සිදුවූ හානියට වන්දි ලබා ගැනීමට පනවා ඇති සීමා ගැන විරෝධතා ගොනු කරනවා – නීතිපති දෙපාර්තමේන්තුව

X-Press Pearl නෞකාව ගිනිගෙන මුහුදුබත් වීමෙන් සිදුවූ හානියට වන්දි ලබා ගැනීමට පනවා ඇති සීමාවලට එරෙහිව, ලබන 29 වැනිදා බ්‍රිතාන්‍ය අද්මිරාල් මහාධිකරණය හමුවේ විරෝධතා ගොනුකරන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා.

මීට පෙර එම අධිකරණය විසින් නෞකාව අයත් සමාගමෙන් ලබා ගත හැකි වන්දිය ස්ටර්ලිං පවුම් මිලියන 19.5 කට සීමා කර තිබූ අතර, ඒ තුළින් නෞකාව මුහුදුබත් වීමෙන් සිදුවූ හානියට ප්‍රමාණවත් වන්දියක් අයකර ගැනීම සීමා වූ බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම අදාළ නෞකා සමාගමෙන් වන්දි අයකර ගැනීම සඳහා සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ මහාධිකරණය හමුවේ පනවා ඇති නඩුවට අදාළව සවිස්තරාත්මක ප්‍රකාශයක් ලබන 27 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත්, ඉන් අනතුරුව එම නඩුවේ සාක්ෂි විමසීම සිදු කෙරෙනු ඇති බවත් සඳහන්.