ගංඟා කිහිපයක ජල මට්ටම් පහල බැස යයි – නමුත් ජනතාව අවදානයෙන් පසුවන්න

ගංඟා කිහිපයක ජල මට්ටම් මේ වන විට අඩු වෙමින් පවතින බව වාර්මාර්ග අධ්‍යක්ෂිකා ජානකී මීගස්තැන්න මහත්මිය පවසයි.
මේ අතර අද (29) දිනයේ පළාත් කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා කියා සිටියේය.
ගංඟාවල ජල මට්ටම් අඩු වුවද අවදානම් ප්‍රදේශවල සිටින ජනතාව අවදානයෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය  අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

හෙළිකොප්ටර් යානාව තුළදීම ගර්භනී මාතාව දරුවෙකු ප්‍රසූත කරයි – එම්.අයි 17 හදිසි දෝසයකට ලක් වුණත් තවත් යානා ගණනක් සහන සේවා සදහා සූදානමින්

එම්.අයි 17 වර්ගයේ හෙළිකොප්ටර් යානාවක් හදිසි කාර්මික දේෂයකට පත්වුවත් තවත් යානා ගණනාවක් සහන කටයුතු සඳහා ක්‍රියාත්මක බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෘෘප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා පවසයි.

එම්.අයි 17 වර්ගයේ හෙළිකොප්ටර් යානා 4ක්, බෙල් 212 වර්ගයේ යානා 3ක්, බෙල් 400 වර්ගයේ යානාවක් ඇතුළු යානා කිහිපයක් මේ මොහොතේත් ක්‍රියාත්මක බව ඔහු කියා සිටියේ අද (29) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

කාර්මික දෝෂයට ලක්වූ යානය කඩා වැටීමක් සිදුනොවුණු බවත්, එය කාර්මික දෝෂයකට ලක්වීමෙන් පසු හදිසියේම ගොඩබැස්වීමට නියමුවාට සිදුව ඇති බවත්, ප්‍රදේශයම ජලයෙන් යටවීම නිසා නිසි තැනක් සොයාගැනීමේ අපහසුවෙන් හදිසියේම යානය වතුර මතටම ගොඩබැස්වීමට සිදුව ඇති බවත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

යානය අනතුරට පත්වනවිට ඒ තුළ ගුවන් හමුදා සාමාජිකයින් 10 දෙනෙකු සිටි බවත්, ඔවුන් කිසිවෙකුටත් හානියක් නොවන පරිදි යානාව ගොඩබැස්වීමට කටයුතු කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

බිමින් හෝ බෝට්ටු මගින් යා නොහැකි අයගම ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීම සඳහා ගුවන් හමුදාව විශේෂ අවධානයක් යොමුව ඇති බවත්, අද දිනයේ “ගෞතම දේශ“ පිට්ටනියේ ගුවන් හමුදාව මගින් වෛද්‍ය සායනයක් පවත්වන බවත්, බොහෝ පිරිසක් ඊට එකතුවී ඇති බවත් සෙනෙවිරත්න මහතා සිහිපත් කළේය.

මේ අතර දැඩි අසීරු තත්ත්වයේ පසුවූ හෘද රෝගියෙකු හා ගර්භනී මාතාවක් ගුවන් මගින් රෝහලට ගෙනගිය   කලවාන-රත්නපුර අතරතුරදී අදාළ හෙළිකොප්ටර් යානාව තුළදීම ගර්භනී මාතාව දරුවෙකු ප්‍රසූත කළ බවත්, ඒ තිදෙනාගේම ජීවිත ගලවාගැනීමට හැකිවූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පිසින ලද ආහාර පාර්සල් 10,000ක්, වතුර බෝතල් 3000ක් හා වියළි ආහාර විශාල තොගයක් මේවන විට පීඩාවට පත් ජනයාට බෙදාහැරීමට කටයුතු කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 151 දක්වා ඉහළට

දිවයිනේ දිස්ත්‍රික්ක 15ට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 151 දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් පුද්ගලයින් 111ක් අතුරුදන්ව ඇති බවට වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

රත්නපුර, කළුතර, මාතර, ගාල්ල, හම්බන්තොට, ගම්පහ, කෑගල්ල, මාතලේ, නුවර, වව්නියාව, මුලතිව්, කොළඹ, මඩකළපුව, ත්‍රිකුණාමලය, සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වී තිබේ.

මෙම දිස්ත්‍රික්කවල පවුල් එක් ලක්ෂ 14,124කට අයත් පුද්ගලයින් හාර ලක්ෂ 42,299 දෙනෙකු ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටියි.

රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගල මරණ 71ක් වාර්තා වන අතර තවත් විසි දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

එම දිස්ත්‍රික්කයේ පවුල් 7,642කට අයත් පුද්ගලයින් 33,248 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 134ක රැදී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

කළුතර දිස්ත්‍රික්කයෙන් මරණ 43ක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් 68 දෙනෙකු අතුරුදන්ව සිටියි.

පවුල් 1398කට අයත් පුද්ගලයින් 5272 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 43ක රැදී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මාතර දිස්ත්‍රික්කයේ මරණ 14ක් වාර්තා වන අතර පුද්ගලයින් 17 දෙනෙකු අතුරුදන්ව තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ මරණ 8ක් ද , හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මරණ 5ක් ද , ගම්පහ දිස්ත්‍රික්කයෙන් මරණ 3ක් ද , කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 2ක් ද වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 5048කට අයත් පුද්ගලයින් 21,918 දෙනෙකු අවතැන්ව ආරක්ෂිත ස්ථාන 43ක රැදී සිටින බව සඳහන්ය.

මාතර රෝහලේ වාට්ටු දෙකක් ජලයෙන් යට වෙයි

මාතර නිල්වලා ගඟේ ජලමට්ටම ඉතා සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ වනවිට මාතර නගරාසන්නේ ඇති ගබඩා වීදිය, තුඩාව, වෙලන්වත්ත, වේරදූව, මැදවත්ත ආදි ප්‍රදේශ ජලයෙන් යටවී තිබෙන අතර ඇතැම් ස්ථානවල අඩි 8 කට වඩා වතුර පිරී තිබෙන බවද වාර්තා වේ.  

දින තුනක් තිස්සේ විදුලිය ඇනහිටීමෙන් දුරකතන පවා විසන්ධී වී ඇත. එමෙන්ම මාතර රෝහලේ වාට්ටු දෙකක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසා එහි රෝගීන් ඉවත් කෙරෙමින් පවතී.

ප්‍රදේශයේ ජලය සහ විදුලිය නැති අතර පානීය ජලය බරපතළම අවශ්‍යතාව වී තිබේ.

රට පුරා බොහෝ ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් හටගත් ගංවතුරට සහ නායයාම්වලට හසුවීමෙන් සිය දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිල වශයෙන් නිවේදනය කරයි.

තවත් 99 දෙනෙකු පිළිබඳව ආගිය තොරතුරක් මෙතෙක් දැනගන්නට ලැබී නැති හෙයින් ඔවුන් අතුරුදහන් වූවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

රත්නපුර ගාල් මාතර ආපදා මේ අංකයට දැනුම් දෙන්න

රත්නපුර දිස්ත්‍රික්කයේ හා මාතර හා ගාල්ල දිස්ත්‍රික්කයේ අධික වර්ෂාව නිසා ඇතිවන ඕනෑම ආපදා තත්ත්වයක් පිළිබඳව දැනුම්දීමට දුරකථන අංකය ලබා දී තිබේ.

ශ්‍රී ලංකා හමුදාව විසින් පෙන්වා දෙන්නේ රත්නපුර ප්‍රදේශයේ ඇති ඕනෑම ආපදා තත්ත්වයකදී 0766907125 යන දුරකථන අංකයට දැනුම්දෙන ලෙසයි.

එමෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඕනෑම ආපදා තත්ත්වයක් 0766907206 යන අංකයට ඇමතුමක් දීමෙන් දැනුම් දිය හැකි බව පවසයි.

මේ අතර 1902 හා 17 යන අංකයන්ටද පවතින ආපදා තත්ත්වයන් දැනුම්දිය හැකිය.

රවීට අපහස කළ ව්‍යාජ ට්විටර් ගිණුම අත්හිටුවයි

විදේශ කටයුතු අමාත්‍යවරයාට අපහාස වන අයුරින් ව්‍යාජ ට්විටර් ගිණුමක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන්  විදේශ කටයුතු  අමාත්‍යාංශය කළ පැමිණිල්ල පිළිබඳ වහා ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය එම ව්‍යාජ ට්විටර් ගිණුම මේවන විට අත්හිටුවා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් සිසිර විජේසිංහ මහතා   විසින්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ව්‍යාජ ට්විටර් ගිණුම පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

අදාළ ව්‍යාජ ට්විටර් ගිණුම මඟින් විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා උපුටා දක්වමින් හිටපු ඉන්දීය අග්‍රමාත්‍ය  මන්මෝහන් සිං මහතා අභාවප්‍රාප්ත වූ බවට ප්‍රවෘත්තියක් පළ කරමින් අසත්‍ය ප්‍රචාරයක් ගෙන ගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දෙයි.

මෙම ව්‍යාජ ප්‍රවෘත්තිය පළ කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඊට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හා ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් ඉල්ලීමක් කළේය.

මේ සම්බන්ධයෙන්  වහා ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අද (26) දහවල් එම ව්‍යාජ ට්විටර් ගිණුම අත්හිටුවීමට කටයුතු කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

කෑගල්ලේ පවුල් 801 ක පුද්ගලයින් 3410 ක් අවතැන්

ආපදා තතත්වය හේතුවෙන් කෑගල්ලේ පවුල් 801 ක පුද්ගලයින්  3410 ක් අවතැන් වී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒ අනුව දෙහිඹ්විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කෑගල්ලේ වැඩිම ආපදාවට පත්ව ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය  වන අතර එහි පවුල් 771 ක පුද්ගලයින් 3283 ක් අවතැන් වී ඇති බව සඳහන්ය.
යටියන්තොට, මාවනැල්ල, රුවන්වැල්ල හා දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හී ද ආපදාවන් සම්බන්ධ සිද්ධීන් වාර්තාවන අතර මේ වන විට අවතැන් වූ පිරිස් සඳහා අවශ්‍ය පහසුකම් සලසන බව කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ම්‍යස්ථානය සඳහන් කරයි.
මේ අතර පස් කන්දක් කඩා වැටීමේන් දෙහිඹ්විට ප්‍රදේශයේ කුඩා දරුවන් දෙදෙනෙක් මිය ගොස් ඇති බව වාර්තා වෙයි.